Tuesday, December 11, 2018

ඉර බහින හැන්දෑවේ ග්වානම්සා පන්සලට.....




ප්‍රධාන බුදු ගෙය


 මේ පාර කියන්න හදන්නේ  පහුගිය වීකෙන්ඩ් එකක හදිස්සියේ යාළුවො කට්ටියත් එක්ක ගිය පන්සලක් ගැන. ග්‍රීෂ්ම කාලේ නිමා වෙලා දන්නෙම නැතුව සරත් කාලේ ලබලා තිබුණා. මේ කාලෙට හවස් බාගේ ඉඳහිට වැටෙන පොද වැස්ස සාමාන්‍ය දෙයක්. අපි කාටත් නිවාඩු ඉරිදා හවස්කාලේ පන්සල් යමු කියලා පොඩි යෝජනාවක් ආවා. ලංකාවෙදි නම් පෝයට කෙසේවෙතත් මාසෙකට සැරයක් දෙසැරයක් හරි පන්සලකට ගොඩවෙන එක මහදෙයක් නොවුනත් කොරියාවේ ගෙවන මේ කාර්යභහුල ශිෂ්‍ය ජීවිතෙත් එක්ක ඒක විශේෂ අවස්ථාවක්. අනික් අතට ලංකාවේ වගේ හැම තැනම පන්සල් නෑ. ගමනට එක් වුණේ ජේජු ජාතික විශ්වවිද්‍යාලයේ මගේ යාළුවො සහ තව කෙනෙක්. ඒ මගේ බිරිඳ. පහුගිය මැයි මාසයේ අපි විවාහ වුනත් ඇයට කොරියාවට එන්න ලැබුනේ නොවැම්බර්  අග. මේ වගේ ක්ෂණික ගමන් යන්න අපිට තවත් හේතුවක් තියනවා දැන්. ඒ තමයි මටයි තව ජේජු කැම්පස් එකේ යාලුවෙකුටයි කාර් දෙකක් තිබීම. ඉතින් දහදෙනෙක් වගේ සෙට් වුනොත් ලේසියෙන්ම කාර් වල යන්න පුළුවන්. විවාහවෙලා කොරියාවට ආවට පස්සේ මම කොරියානු රියැදුරු බලපත්‍රය ලබාගත්තා. පස්සේ වෙලාවක ඒ ගැනත් කියන්න හිතාගෙන ඉන්නේ. හරි දැන් කතාව කියන්නම්කෝ.

ඉර බහින හැන්දෑවේ සිහින් පොද වැස්සත් එක්ක ගමන පටන් ගත්තේ ග්වානම්සා (Gwaneumsa) පන්සලට යන්න. පන්සල පිහිටලා තියෙන්නේ ජේජු ජාතික විශ්වවිද්‍යාලයට දකුණු දෙසින්. ප්‍රධාන පාර අද්දරමයි. ඒ ප්‍රදේශයම අයත්වෙන්නේ හල්ලා කන්ද ආශ්‍රිත රක්ෂිතයට. ඒ හින්දා ගමන්මාර්ගය වැටිලා තියෙන්නේ කැලෑවක් මැද්දෙන්. සරත් කාලේ පතනශීලි වනාන්තර වල දකින්න පුළුවන් රතු, කහ, දුඹුරු, සහ තැඹිලි පාටින් මුළු පළාතම වර්ණගැන්විලා.

පන්සලට ඇතුළුවෙන්න දොරටු කීපයක්ම තියෙනවා. ඒ අතරින් ප්‍රධාන දොරටුව හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. මොකද එතන තියනවා ධර්මචක්‍ර මුද්‍රාවෙන් නිර්මාණය වුණු විශාල ඉඳි පිළිමයක්. පන්සල් භුමිය ඉතාම නිස්කලංකයි. ඉඳහිට නැගෙන කාක්කෙකුගේ ශබ්ධය හැරෙන්නට ඇහෙන්නේ හුලං හමන ශබ්ධය විතරයි. කාක්කෝ කිවුවහම ලංකාවේ අපිට මතක් වෙන්නේ කුණු නේ. ඒත් මේ ප්‍රදේශයේ ජීවත්වන කාක්කෝ හල්ලා රක්ෂිතයට විශේෂයි. ඔවුන්ගේ නිවහන හල්ලා රක්ෂිතයයි. මේ කොරියානු කාක්කෝ ලංකාවේ කාක්කන්ට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාලයි. ශබ්ධයේත් පොඩි වෙනසක් තියෙනවා. තාරතාවයේ අඩු ගතියක්. අපේ කාක්කෝ "කාක්"  කියලා කෑ ගැහුවත් මුන් කෑ ගහන්නේ "කා" කියලා.
ප්‍රධාන දොරටුව අසල පිළිමය



පන්සල් භුමිය පිහිටලා තියෙන්නේ උස් මට්ටම් කීපයකින්. පහළ ඉඳන් බලනවිට ඉහලින්ම තියෙන්නේ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවක්. ඒ ස්ථානයේ ඊට පිටුපසින් තවත් කුඩා ප්‍රතිමා සිය ගණනක් තැන්පත් කරලා තියනවා. පරික්ෂාකාරීව බැලුවොත් ඒවත් එකින් එකට වෙනස් ආකාරයට නිර්මාණය කරපුවා බව පේනවා. සියල්ල සටහන්කරලා තියෙන්නේ කොරියන් වලින් හින්දා අපිට එච්චර පැහැදිලිවුනේ නෑ. නමුත් තුන් දිශාවේ පිහිටි කුඩා පිළිම තුන් පිරිසක් නියෝජනය කරන බව පිළිමවල බාහිර වෙනස්කම් හා සමානකම් වලින් පෙනීගියා. 
විශාල ප්‍රතිමාව පිටුපස ඇති පිරිවර ප්‍රතිමා


ඒ භූමියට පහලින් බුදු කුටි පිහිටලා තිබුණා. ඉටි පන්දම් රඳවන, ඔර්කිඩ් මලින් බරවූ මල් පෝච්චි, සිවිලිමේ එල්ලෙමින් තිබු පහන් කූඩු සහ ස්පීකර වලින් සෞම්‍ය ලෙස ගලා එමින් තිබු නුහුරු ස්වරස්ථාන වලින් ගැයෙන ගාථා ඛණ්ඩ සිතට නැවුම් වූ නුහුරු අත්දැකීමක් ලබාදුන්නා. ඒ විතරක් නෙවෙයි. බුදුගේ පැත්තක ග්‍රෑන්ඩ් පියානෝවකුත් තිබ්බා. කොහොම වුනත් පන්සලක් ඇතුළට  ආවාට පස්සේ දැනෙන සන්සුන්බව අඩුවක් නැතුව එතනත් තිබ්බා. 
ප්‍රධාන බුදු ගෙය ඇතුලත

දැන් තිබෙන ග්වානම්සා පන්සල ඉදිකරලා තියෙන්නේ 1908 වර්ෂයේ ජුන්හෙඋන්ජෝ බොන් කියලා කොරියානු ස්වාමින්වහන්සේ නමක්. නමුත් ඊට කලින් ඉඳන් එම ස්ථානයේම කොරියානු කොන්ෆුසියස් ධර්මායතනයක් පැවති බවට සාක්ෂි තියෙනවලු. ඒ ඉතිහාසය ජේසෝන් අධිරාජ්‍ය සමය දක්වා දිවයන එකක්. කෙසේවෙතත් අවුරුදු 200ක් පමණ පැරණි මෙම පන්සල අදවනවිට ජෙජු දුපතේ ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්වෙලා. මෙමඟින් දුපත පුරා විසිරී  ඇති තවත් පන්සල් 30ක් පාලනය වෙනවා.
එදා පන්සල තිබු ආකාරය (http://www.jejugwaneumsa.or.kr)

අවසන් වශයෙන් කොරියානු බුදු දහම ගැනත් පොඩි හැඳින්වීමක් කරන්නම්කෝ. කොරියානු බුදු දහම සැකසිලා තියෙන්නේ මුලික වශයෙන් මහායාන ඉගැන්වීම් වලින්. කලින් සඳහන් කළ බුදුකුටියේ වෙනසම් වලටත් බලපෑම් ඇතිකරන්න ඇත්තේ ඒවා හේතුව ආමිස පුජාවන්ට මූලික තැනක් ලැබෙන හින්දා.  ඒවගේම සෙන් (Zen) දහමේ එන ඉගැන්වීම් ප්‍රමාණයකුත් කොරියානු බුදුදහම තුළ අන්තර්ගතයි. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 800 කට පස්සේ තමයි කොරියාවට බුදු දහම ලැබිලා තියෙන්නේ. ඒ වෙනකොට කොරියාවේ තිබිලා තියෙන්නේ ස්වභාවික වස්තූන්  වන්දනාවයි. බුදුදහම සහ පෙර පැවති ආගම අතර ගැටුමක් ඇතිවෙලා නෑ. ඒ වෙනුවට ඔවුන් බුදු දහමට පෙර ධර්මයේ විශ්වාස මුහු කරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට කඳු කියන්නේ බුදුන්ගේ පෙර භව වල නවාතැන් ගත් ස්ථාන ලෙස සැලකීම දක්වන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි දැනටත් පවතින පන්සල් කඳු ආශ්‍රිතව ගොඩනගලා තියෙන්නේ. ජපානයට යටත්ව පැවති කාලයේත් කොරියානු බුදු දහම යටපත්ව ගිහින් තිබිලා තියෙනවා. හේතුව යටත් භාවයෙන් මිදීම සඳහා කොරියානුවන් මෙහෙයවන්නට බෞද්ධ භික්ෂූන් මුලිකත්වය ගෙන කටයුතු කිරීමයි. පසු කාලීනව ජපානයෙන් නිදහස ලැබුවත් ඇමෙරිකානු ක්‍රිස්තියානි සභා වල බලපෑම මත කොරියානු බුදු දහම පිබිදීමකට ලක්වෙලා නෑ. වර්ෂ 2005 දී රජය මගින් සිදුකල සංගණනයකදී අනාවරණය වුයේ කොරියානුවන්ගෙන් හතරෙන් එකක්  බෞද්ධයන් බවයි. කෙසේ නමුත් කොරියානු ජීවිත පැවැත්ම හා බැඳී ඇති කාරණා රැසකට බුදු දහමේ අභාෂය ලැබිලා තියෙනවා.

කන්දේ පිහිටි රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව සිහින් මීදුම් පටලයකින් වැහෙන්න පටන් අරන් තිබ්බා. ගොම්මන් අඳුර හෙමින් හෙමින් ඇදෙන වෙලාවේ රක්ෂිතය අද්දර මුවන් කිහිප දෙනෙකුත් අපේ නෙත ගැටුණා. අවසන් වශයෙන් කුඩා ගල් කුහරයක තිබ්බ බුදු කුටියක හදුන්කූරු දල්වලා අපි ආපසු එන්න පිටත් වුණා.
අපි සෙට් එක

Monday, November 26, 2018

ජාන වෙනස් කිරීමක් සමඟින් බිහිවන ලොව පළමු දරු උපත





ලෝකයේ පළමුවැනි වතාවට ජානමය වශයෙන් සංස්කරණය කළ ළදරුවන් නිවුන් දරු උපතක් වශයෙන් මේ මාසයේ ( 2018, නොවැම්බර් මාසයේ) මෙලොවට බිහිවන බව චීන ජාතික පර්යේෂකයෙක් පවසයි. මිනිස් ජීනෝමය ලියැවී ඇති DNA අණුවේ ඒ ඒ ජානයට අදාල කොටස් කියවිය හැකි සහ සංස්කරණය කල හැකි නව ක්‍රමවේදයක් මේ සඳහා භාවිතා කල බව ඔහු පවසයි.
මෙය සත්‍යයක් නම් එය විද්‍යාව සහ ආචාර ධර්ම අතර හටගන්නා ප්‍රභල සංවාදයක් හෝ ගැටුමක් වනු නොඅනුමානයි.
මෙම ව්‍යාපෘතිය සඳහා දායකවූ ඇමරිකානු ජාතික විද්‍යාඥයෙක් පවසන්නේ, මෙවන් ජානමය වෙනස්කම් සහිත මිනිසුන් බිහි කිරීම ඇමෙරිකානු නීතියට අනුව තහනම් නිසා චීනයේ සිදුකළ මෙම පර්යේෂණය සඳහා දායක වූ බවයි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මෙවන් ක්‍රියා තහනමට ලක් කිරීමට ප්‍රධානතම හේතු වශයෙන් ඔහු දක්වන්නේ, කෘතිමව සිදුකරන ජානමය වෙනස්කම් ඉදිරි පරම්පරා වලට සම්ප්‍රේෂණය වීමේ ඇති හැකියාවත් සහ එවන් වෙනස්කම් අනෙකුත් ස්වභාවිකව පවතින ජාන වලට හානි සිදුකිරීමත්ය.
ජාන ඉංජිනේරු විද්‍යාව හා සම්බන්ධව පර්යේෂණවල නිරතවන බොහෝ විද්‍යාඥයින් පවසන්නේ මෙය ඉතා අනාරක්ෂිත ක්‍රියාවක් බවයි. ඒ අතර බොහෝ පාර්ශව චීනයේ පළවූ මෙම ප්‍රවෘතිය තරයේ හෙළාදැක ඇත.
පර්යේෂණ කටයුතු සිදුකර ඇත්තේ දකුණු චීනයේ ග්වන්ග්ඩොන් පළාතේ ෂෙන්සෙන් හි පිහිටා ඇති විද්‍යාගාරයක් තුළයි.


ප්‍රධාන චීන විද්‍යාඥ ජියන්කුයි

දරු ඵල අපේක්ෂාවෙන් පසුවූ යුවල් 7ක් සඳහා කළ සඵලතා ප්‍රතිකාර අතරතුර මෙම කළල වෙනස්කිරීම් සිදුකර ඇති අතර, සාර්ථක ප්‍රතිඵල වශයෙන් එක් ගර්භණි තත්වයක් හටගෙන තිබේ. පර්යේෂය්කයින්ගේ මුලික අරමුණ වී ඇත්තේ ප්‍රවේණිගත රෝග සුවකිරීම හෝ වලක්වා ගැනීම නොව, දැනට මිනිසුන් අතරින් ඉතා සුළු පිරිසකට උරුමව ඇති ඒඩ්ස් වයිරසයට ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාව වර්ධනය කර අනාගත අසාධන වලින් ආරක්ෂා කර ගැනීමයි. 

තවමත් මෙම පර්යේෂණ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති අතර, මේ පිලිබඳ මුලික හෙළිදරවුව කර ඇත්තේ අඟහරුවාදා (2018.11.27) හොංකොං  හි පැවැත්වෙන ජාන ඉංජිනේරු විද්‍යාව තේමාව කරගත් ජාත්‍යන්තර සමුළුවක් සඳහාවූ මුලික මාධ්‍ය සාකච්ඡාවකදීය.

මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් ප්‍රධාන පර්යේෂක මෙසේ පවසා ඇත. "මේ පර්යේෂණ ක්‍රියාවලිය පිලිබඳ මාහට ඉතා දැඩි වගකීම් සහගත බවක් දැනෙනවා. එයට හේතුව මෙය ලෝකයේ පළමු වරට කළ දෙයක් නිසා නොවේ. මෙය ඉදිරි පර්යේෂණ ක්‍රියාවන්ට හොඳ ආදර්ශයක් සහ උදාහරණයක් දිය යුතුව ඇතිනිසා. ඒ වගේම සමාජය විසින් තීරණය කරාවි මෙහි ඊළඟ පියවර කුමක්ද කියා. විශේෂයෙන් මේ සඳහා අවසර දෙනවද නැද්ද කියන කාරණය සම්බන්ධව".

මෙම පුවත ඇසු සමහර විද්‍යාඥයින් විශ්මයට පත්ව ඇති අතර එය තරයේ හෙලාදැක ඇත. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ජාන සංස්කරණය සම්බන්ධ විද්‍යාඥ සහ ජෙනටික්ස් ජර්නලයේ (Genetics) සංස්කාරක, අචාර්ය කිරාන් මුසුනුරු කියාසිටින්නේ  මෙය හෘදසාක්ෂියට එකඟ නොවන සහ සදාචාරාත්මක ක්‍රියාවක් නොවන බවයි.
කැලිෆෝර්නියාවේ Scripps Research Translational Institute හි ආචාර්ය එරික් ටොපොල්  "මෙය ඉතා අපරිණත ක්‍රියාවක්, අප මේ කටයුතු කරන්නේ මිනිස් වර්ගයාගේ මෙහෙයුම් කේත සමඟයි." යනුවෙන් මේ පිලිබඳ අදහස් දක්වා ඇත.
කෙසේ වෙතත්, එක් කීර්තිමත් ජාන විද්‍යාඥයෙකු වන හාර්වර්ඩ් විශ්ව විද්‍යායලයේ ආචාර්ය ජෝර්ජ් චර්ච්, මෙම පර්යේෂණ සඳහා සිය ප්‍රසාදය පළකර සිටින අතර එය අනාගතයේ මිනිසාට එරෙහිව නැගෙන ප්‍රධානතම සෞඛ්‍ය තර්ජනයට කදිම පිළිතුරක් වනු ඇති බව පවසයි.

මෑත වසරවලදී විද්‍යාඥයන් විසින් ජාන සැකසීමට සාපේක්ෂ වශයෙන් පහසු ක්‍රමයක් සොයාගෙන ඇත. CRISPR-cas9 නමින් හැඳින්වෙන මෙවලම, අවශ්‍ය  ජානයක් සැකසීමට හෝ අක්‍රමිකතා ඇති ජාන  අක්‍රිය කිරීමට යොදාගනී.  මෙම ක්‍රමය මාරාන්තික රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා වැඩිහිටියන්ට පමණක් මෑතදී යොදා ගෙන ඇති අතර එම වෙනස්කම් එම පුද්ගලයාට පමණක් සීමා වී ඇත. ශුක්‍රාණු, ඩිම්බ හෝ කළල වෙනස් කිරීම ඊට වඩා වෙනස් වන අතර නව ජානමය සංස්කරණ ඉදිරි පරම්පරාවලටද ගමන්කරයි.  චීනය මිනිස් ක්ලෝනකරණය  තහනම් කර ඇතත් ජාන සැකසීම් තවමත් තහනම් කර නොමැත. මෙම පර්යේෂණ ප්‍රතිපල සමඟින් මේ පිලිබඳ නීතිවේදීන්ගේ අවධානයද යොමුවනු ඇතැයි මත පලවී ඇත.

පර්යේෂණය සඳහා සහභාගීවූ සියලුම පිරිමින් HIV ආසාදිතයන් වූ අතර කාන්තාවන් සියල්ල නිරෝගී විය. ඒ වනවිටත් ඖෂධ භාවිතයෙන් පියවරුන්ගේ HIV අසාධන තත්වය සාර්ථකව මැඩපවත්වා තිබු අතර, එහෙත් දරුවාට එය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවයක් තිබුණි. මුලින්ම ශුක්‍රාණු හොඳින් සේදීමට ලක්කර HIV  වයිරසය පවතින ශුක්‍ර තරලය ඉවත්කර හරිනු ලැබේ. පසුව තනි ශුක්‍රාණුවක් ඩිම්බයක් හා සංසේචනය කරවයි. ඉන්පසු ජාන සංස්කරණ මෙවලම ඊට ඇතුල් කරයි. දින 3ත් 5ත් අතර වයස කළල වලින් සෛල කිහිපයක් ඉවත් කරන අතර ඒවා ජානමය වශයෙන් සංස්කරණය වී ඇතිද නැතිද යනවග පරීක්ෂා කර බලනු ලැබේ. ගර්භනී අවස්ථාවන් සඳහා සංස්කරණය කළ හෝ නොකළ ලද කළල භාවිතා කිරීමට දෙමාපියන්ට හැකි විය.  කළල 22 කින්  16 ක් සංස්කරණය කරන ලද අතර 11ක් අවස්ථා 6කදී ගර්භාෂ තුළ තැන්පත් කරන ලදී. අවසානයේ එක් ගර්භාෂයක් තුළ කළල 2ක් නිවුන් දරු උප්පත්තියකට සුදුසුකම් ලබා ඇත.

පර්යේෂකයන් පවසන අන්දමට සම්පුර්ණ පර්යේෂණ ක්‍රියාවලිය පිලිබඳ සහ එහි අවධානම පිලිබඳ මාපියන් දැනුවත් කර ඇති අතර, බිහිවන දරුවන්ගේ සෞඛ්‍ය ගැටළු සඳහා රක්ෂණාවරණයක් ලබාදී ඇත. අවුරුදු 18 වනතෙක් දරුවන් ක්‍රමික  වෛද්‍ය  පරීක්ෂණ වලට භාජනය කිරීමට නියමිත අතර, ඉන් පසුවත් ඔවුන්ගේ කැමැත්ත ඇතිව ඉදිරි පර්යේෂණ කටයුතු කිරීමට බලාපොරොත්තු වනු ලැබේ.

කෙසේ වෙතත් මෙම පර්යේෂණය අනාගත දශකය තුළ බොහෝ කතාබහට ලක්වීමට ඉඩ ඇති සහ තවදුරටත් දියුණු මට්ටමකට පැමිණීමට ඉඩකඩ ඇති ක්‍රියාවලියක් බව දැනටමත් ඉඟි පළකර ඇත. ඉතා ඉක්මණින් මාපියන් හට අවැසි පරිදි ජානමය වශයෙන් සංස්කරණය කළ පරිපුර්ණ දරුවන් ලොවට බිහිකරන තාක්‍ෂණය  අප ඉදිරියට පැමිණෙනු ඇත.

 First gene-edited babies claimed in China - KOREA TIMES ඇසුරින් අනුවර්තනයකි.

Wednesday, November 21, 2018

දකුණු කොරියාවේ සංචාරය කරන ගමන්.......කොරියාවේ උසම කන්ද නැඟීම


 මේක කලින් ලියමින් හිටිය පෝස්ට් එකක්. ඒත් ඉවර කරේ 2018 ත් අන්තිමට.

2016 චුසොක් නිවාඩුවේ පළවෙනි දවසේ ජේජු ලව් ලෑන්ඩ් එකයි තව ආර්ට් ගැලරි දෙකකුත් බලලා රෑට ජිම්ජිල් එකේ නැවතුණා. පහුවදා උදේ 7ට නැගිටලා ලෑස්තිවෙලා කඳු නැගීම ආරම්භ කරන තැනට යන්න පිටත් වුණා. කලිනුත් කියපු  විදිහට රෝයි ඔක්කොම් ප්ලෑන් කරලා තිබ්බේ. බඩගින්නේ කඳු නගින්න බැරි හින්දා උදේට හොඳට කන්න ඕනේ කියල අපි තීරණය කරා.

කනවා කියල ඉතින් මහලොකුවට වියදම් කරන්නත් බෑනේ. ලාබෙට කන්න තියන හොඳම  විසඳුම CU(see you), GS25  වගේ කඩ වලින් කන එක තමා. CU ,GS25 , Seven Eleven  කියන්නේ හදිස්සියට  ඕන දේවල් ගන්න හැම තැනම වගේ තියන ජාල ගත වෙළඳසැල් සමුහයක්. සුපර් මාර්කට් වගේ පෙනුමක් තමයි මේවගේ තියෙන්නේ. මේවගේ කන බොන දේවල්, එදිනෙදා ඕන කරන දේවල් ගන්න පුළුවන්. නුඩ්ල්ස් කනවනම් උණුවතුර, බර්ගර් වගේ දේවල් රත්කරගන්න microwave එහෙමත් මේවගේ තියෙනවා. අපි නිතරම කන්නේ ඒවගේ තියන සම්පුර්ණ කම වේලක් තියන ලන්ච් පැක් එක. එක කවම බඩත් පිරෙනවා...අනික ලාබයි. රුපියල් වලින් නම් 400ක් විතර. ඇතුලේ ඉඳන් කන්නත් පහසුකම් හදලා  තියෙන්නේ. සමහර තැන් වල නම් එළියේ හට් හගල, බංකු එහෙම දාලත් හදල තියෙනෙවා. ගොඩක් ට්‍රැවල් කරන්න එන අය මේවගෙන් තමා කන්නේ. විශේෂ කෑමක් කන්න ඕනේ උනොත් හරි, තවත්  කාත් එක්ක හරි කනවනම් හරි ඉතින් රෙස්ටුරන්ට් එකකට යනවා. වැදගත්ම දේ තමයි ගම්  නගර කියල වෙනසක් නෑ , හැම තැනම මේ කඩ  ව්‍යාප්තවෙලා තියෙන එක.  මට දැනුන විදිහට ඒ වගේ දේවල් හින්ද ගොඩක් දුරට සමාජ සමානාත්මතාවයක් ඇතිවෙලා තියෙනෙවා. හැම කෙනෙක්ටම සමාන තෝරාගැනීමක්, මිලදීගනීමක් කරන්න ඒක උදවු වෙනවා කියල හිතෙනවා.

ඇත්තටම කිව්වොත් මේ කන්ද ලංකාවේ එහෙම අපි දකින කඳු වලින් ටිකක් වෙනස්. මේක ගිනි කන්දක්. හැබැයි බයවෙන්න දෙයක් නෑ. දැන් අක්‍රියයි. පෘථිවි භූ ගර්භයේ ඉඳන් එලියට ආපු ලාවා ගල් වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. උසින් මීටර් 1950 ක් වෙනවා. ඔන්න ඉතින් තවත් දයක් මතක් වුණා. මේ සංචාරයෙන් පස්සේ ජේජු වලම තිබ්බ සම්මන්ත්‍රණයකදී මට හම්බුණා නේපාල ජාතික ශිෂ්‍යයෙක්. ලංකාවේ වගේම මුහුණුවර හින්ද මං ගිහින් කතාකරා. ටික වෙලාවකින් එයා ඇහුව චුසොක් නිවාඩුවට මොකද කරේ කියලා. මං කිව්වා කොරියාවේ උසම කන්ද නැග්ග කියලා. එත් එක්කම මිනිහ ඇහුවා උස කීයද කියලා. මං  කිව්වා මීටර් 2000ක් විතර කියලා. එයා හිනාවෙලා කිව්වා, අපේ ගෙදර තියෙන්නේ මීටර් 4000 කටත් වඩා උඩින් කියලා. මට කරගන්න දෙයක් නෑ .  ලංකාවෙත් මීට වඩා උස ඒවා තියනවා කියලා ශේප් වුණා.

            මේ කන්ද අවට විතරක් නෙවේ ජේජු දුපතේ හැමතැනම ලාවා ගල් දකින්න පුළුවන්. මුහුදු වෙරළේ පවා. පහසුවෙන් හොයාගන්න පුළුවන් හින්දම මෙහෙ ගෙවල් වටේට තාප්ප හදල තියෙන්නේ ඒ ගල් එකමත එක තියලා. සිමෙන්ති පාවිච්චි නොකර. ඒ වැඩේට මෙහෙ අය ගොඩක් දක්ෂයි. ආරංචි වෙච්ච හැටියට අලුත් පරම්පරා වලට නම් ඒවගේ අගයක් නෑලු. ඒ වගේමයි මේවා පාවිච්චිකරලා ප්ලේට්ස් වගේ හදලා තියනවා. ජේජු වල ගොඩක් පාරවල් දෙපැත්තේ අර කැට අල්ලනවා වෙනුවට කරන්නේ මේ ලාවා රොක් ප්ලේට්ස් අල්ලන එක.
ඉහල සිට බලනවිට හල්ලා කන්දේ ඡායාරුපයක්
 උදේට හොඳට කාලා දවල්ට කන්නත් එක එක දේවල් ගත්තා. කිම් පප්, චොකලට්, දොඩම්, කෙසෙල්  ,ඔයවගේ දේවල්. කිම් පප් කිවුවේ අර මුහුදු ඇල්ගී වලින් වේලලා හදන ශීට් එක වටේ ඔතල තියන බත් රෝල් වලට. ඒවා මැද්දේ බිත්තර, හැම්, කිම්චි, චීස් එහෙම දාල තියෙන්නේ. ස්නැක් එකක් විදිහටත් ප්‍රධාන ආහාර වේල් වලටත් කොරියානුවන් කිම් පප්  පාවිච්චි කරනවා. කෙසෙල්ගෙඩි නම් මෙහෙ ඒවා නෙවේ. ඔක්කොම පිලිප්පීනයෙන් ගෙන්නන ඒවා. දිග තනි කහපාට කෙසෙල්. ලොකු රසක් නෑ ඒවගෙ. මගේ කොරියන් යාළුවන්ට දවසක් ලංකාවේ කෙසෙල් වර්ග පෙන්නුවම ඒගොල්ලෝ පුදුම වුණා. ඇයි  එකක් කියලද, රතුපාට, කොළ පාට, කහ පාට, දිග, කොට, මහත.... කෙසෙල් වර්ග පෙනුමෙන් පෙන්නන්න පුළුවන් වුනත්, ඒවගේ රස පැහැදිලි කරලා දෙන්න මට අමාරු වුණා . කෙසෙල් කියන පලතුර රසවල් ගණනාවකින් තියනවා කියල කියන කොටත් මේගොල්ලෝන්ට  හිනා යනවා. ඒ තරමට ඒක ඒගොල්ලොන්ට හිතා ගන්න බැරි දෙයක්. මගේ රූමා කිවුවා ඉස්සර කොරියනුවන්ට අග හිඟ  කාලේපවුලේ කට්ටිය  එක කෙසෙල් ගෙඩිය 4 ට 5 ට කපලා ලු   කෑවේ.  ඒ දවස්වල ඒ තරම් කෙසෙල් ගණන්ලු. අදටත් කොරියාවේ කෙසෙල් වැවෙන්නේ නැහැ.
කිම් පප්
 කෑමත්  අරන් අපි මුලින්ම තීරණය කරගෙන  හිටපු, කන්ද නගින ට්‍රැක් එකේ පිවිසුම් දොරටුවට යන්න පුළුවන් බස් එකකට නැග්ගා. ඊට කලින් අපි ඒ පාරේ කවදාවත් ගිහින් තිබ්බේ නැහැ. ඒක වංගු සහිත කඳුකර පාරක්. ඒත් බස්  එක හැටට හැටේ යනවා. ජෙජු සිටි එකෙන් විනාඩි  15ක්  විතර මේ පාරේ ආවට පස්සේ දුපතේ නැගෙනහිර කොටසින් බාගයක් විතර සහ සිටි එක සම්පුර්ණයෙන් දර්ශනය වෙන්න පටන් ගන්නවා. හරිම ලස්සනයි. දැන් ඕගොල්ලන්ට හිතා  ගන්න පුළුවන්නේ, මුහුදු මට්ටමේ ඉදන් සැලකිය යුතු උසකට එන්න ජෙජු දුපතේ වැඩි වෙලාවක් යන්නේ නෑ  කියලා. හේතුව තමා මැද්ද ගිනි කන්දක් වීම. මේ උස වෙනස හින්දම ශීත කාලේදී අපේ පැත්තට (මුහුදට අසන්න කොටසට) හිම නොවටුනත් හල්ලා  කන්ද හිමෙන් වැහිලා තියෙන්නේ.

බහින තැනට හෝල්ට් එකක් තියල බස් එකේ දොර ගාවට එන්න අපි නැගිට්ටා. එකපාරටම ඩ්‍රයිවර් කෑගහන්න පටන් ගත්තා. ඉක්මනට ඉඳගන්න කියලා. කියන කොටම රෝයි වැටුණා. තායිත් එක්ක මං ඉක්මනට ඉඳගත්තා. රෝයිත් නැගිටලා ලඟම  සීට් එකෙන් ආපහු වාඩි වුණා. ඒ තරමට බස් එක වේගෙන් වංගු ගන්නවා. කොහොම හරි ගමනාන්තයට ආවට පස්සේ බැහැ ගත්තා. වෙලාව උදේ 10 ටත් ලඟයි. උදේ පාන්දරින් ආපු  අයගේ වාහන ගොඩක්  තිබුණා කාර් පාර්ක් එකේ. ටිකක් පරක්කු වෙලා තිබුන හින්ද අපිත් ඉක්මනට වැඩේ පටන් ගත්තා. සාමාන්‍යයෙන් ජෙජු දුපතේ බොහොමයක් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන වලදී ඒවාට ඇතුළුවෙන්න ටිකට් පතක් මිලදී ඕනේ. නමුත් හල්ලා කන්ද නගින්න එහම නෑ. තවත් විශේෂ දෙයක් තියනවා. අනික් තැන්වලදී ටිකට් ගනිද්දී අපිට පුලුවන්නම් ජෙජු දුපතේ ජීවත්වෙන කෙනෙක් කියල ඔප්පු කරන්න බාගෙට බාගයක් ඩිස්කවුන්ට් හම්බෙනවා. නැත්නම් සම්පුර්ණයෙන් නොමිලේ යන්න දෙනවා. කොරියානුවන් සහ විදේශිකයින් කියල නැහැ, ඒක හැමෝටම පොදුයි. ඒක හින්දා අපි යන හැම තැනම මෙහෙන් දීල තියන අයිඩෙන්ටිටි කාර්ඩ් එක අරන් යන්නේ.මේ වෙලාවේ මට මතක් වුණා ජෙජු කැම්පස් එකේ ඉන්න ලංකාවේ යාලුවෙක් කිවුව දෙයක්. පින්නවල අලි අනාථාගාරේ ටිකට් ගන්න තැන විදේශිකයෝ ගෙවන්න ඕන මුදල ගහල තියෙන්නේ ඉලක්කම් වලින්ලු. එත් අපේ මිනිසුන්ට යන්න ගෙවන්න ඕනේ ගාන සඳහන් කරලා තියෙන්නේ (රුපියල් පනහයි කියලා) සිංහල අකුරින්ලු. කොහොමද ටිකිරි මොලේ.


අපි නගින්න තෝරාගෙන තිබුණේ සොන්පානක් (Seongpanak, 성판악) කියන මාර්ගය. කන්ද පාමුල ඉඳන්ම ගමන් මාර්ගය පැහැදිලිව හදල තියනවා උඩට යනකන්ම.ට්‍රැක් එකෙන් පිට පනින්න අවසර නෑ  කාටවත්ම. මේ හින්ද අවට පරිසරයට හානියක් නෑ. පඩි ගල් වලින් හදල තියෙන්නේ. බැවුම් සහිත තැන්වලදී ලී වලින් ශක්තිමත්ව පාර හදලා. අත් වැටවල්  ඔක්කොම ලීයෙන් හදල තියෙන්නේ.  කෝඩුකාරයින්ට පහසුම මාර්ගය මේකලු. පහල ඉඳන් කඳු මුඳුනට සම්පුර්ණ දුර කිලෝමීටර  9.6 ක්. නගින්න ගතවෙන දළ කාලය පැය 4 යි විනාඩි 30ක්. ඒ කියන්නේ නැගල බහින්න පැය 9ක් වගේ ගතවෙනවා.තැනිතලා ප්‍රදේශ වලදී ලී වලින් හදපු පාරෙන් යද්දී හරිම පහසුයි. අවට කැලෑවේ ගස්කොලන් අතරින් පෙරිලා එන ඉර එලියයි , සරත් කාලයේ හමන සිහිල් සුළඟයි ගතේ විඩාව මෙන්ම සිතේ විඩාවත් නිවලා දානවා.
ගමන් මාර්ගය 
 කන්ද නගින්න මේ පාරට අමතරව තව පාරවල් කීපයක්ම තියනවා. ඔරිමොක් (6.8 Km ), යෝන්සිල් (5.8 Km), ග්වානම්සා (8.7 Km), ඔසන්සෙන්ගක්  (1.3 Km), දොන්නේකෝ (7 Km ) සහ සොක්ගුරාම්  (1.5 Km).


කන්ද නැගීමට ඇති විවිධ ගමන් මාර්ග
මේ පාරවල් වල විශේෂත්වය වෙන්නේ ඒවාට ආවේණික භූ විෂමතාවයත් ඒ අනුව වෙනස්වන ගමනේ විඩාවත් කියන කාරණා. ඊට අමතරව වසන්ත කාලේදී මල් පිපෙන පාරවලුත් මේ අතර තියනවා. ඔරිමොක් පාරේ වසන්ත කාලෙට අසේලියා මල් වලින් වැහෙනවාලු. සොක්ගුරාම් පාර වැටිලා තියෙන්නේ පයින් සහ විවිධ පලල්පත්‍ර ශාක සහිත  ඝන කැලේ මැද්දෙන්. ග්වානම්සා පාරේ ලාවා ගල් කුහර දකින්න පුළුවන්.මේ හින්දම ගුහා ආශ්‍රිත සතුන් සහ වවුලන් පිලිබඳ අධ්‍යනයනය කරන්න්නන්ට මේ පාර වැදගත් තැනක්ලු. සොන්පානක් පාර ප්‍රසිද්ධ කඳුකර මුවන් සුලභව දැකගන්න පුළුවන් හින්දා.



ඇසේලියා මල් පිපෙන කාලෙට
 කොහොමහරි දවල් දොළහ විතර වෙද්දී කන්දේ බාගයක් නැග්ග තැනදී හම්බවෙන ගිමන් හරින ස්ථානයට එන්ඩ අපිට පුළුවන් වුණා. ගොඩක් කාලෙකින් ඒ හැටි ව්‍යායාමයක්  ඇඟට වැටිලා නැති හින්දා ගොඩක් මහන්සියි. එතන ටිකක් නැවතිලා ගෙනාපු කිම්පප්, දොඩම් එහෙම කාලා ආයෙත් කන්ද නගින්න පටන් ගත්තා. මීලගට කියන්න ඕනේ විශේෂම දේ තමයි දවල් එකහමාරට කලින් කන්ද මුදුනට නගින්න ඕනේ. එකහමාරෙන් පස්සේ කන්ද උඩ  ඉන්න දෙන්නේ නෑ. හේතුව තමයි කළුවර වැටෙන්න කලින් ඔක්කොමලා බහින්න ඕනේ හින්දා. සමහර කාලවලදී මේ වෙලාව ටිකක් එහා මෙහා වෙන්න පුළුවන්. හේතුව තමා ඉර පායන වෙලාවයි බහින වෙලාවයි වෙනස්වෙන එක. ගිමන් හරින තැන ඉදන් මුදුනට යන්න හරියටම අපිට ඉතුරුවෙලා තිබ්බේ පැයක වගේ කාලයක්. උඩට යන්න යන්න ගමන් මාර්ගයේ ආනතිය වැඩිවෙනවා.ඒවගේම මීදුම හින්දා ඉස්සරහට අඩි කීපයක් විතරයි පේන්නේ. ශීත කාලේදි නම් මුළු කන්දම හිමෙන් වැහෙනවා. අපි තුන් දෙනා එකයි කාල වගේ වෙද්දී බොහෝදුරට කන්ද මුදුනටම ආවා. නමුත් එදා කලින්ම සෙනග ආපසු හරවල එවන්න පටන් අරන්. මුදුනට මීටර් කීපයක් තිබිලත් අපිට මුදුනට යන්න බැරි වුණා. කොරියානුවන්ගේ වෙලාව ගැන දන්නවනේ. වෙලවනම් වෙලාව. 

ආපහු බහින කොට තමයි තේරුනේ නගිනවට වඩා බහින එක අමාරුයි කියලා. ඒ අස්සේ හයියෙන් වහින්නත් පටන් ගත්තා. අපි තුන්දෙනාටම තිබ්බේ එක කුඩයයි. මම රෝයි එක්ක වේගෙන් බැස්සා. තායිගේ කකුල් දෙක හොදටම අමාරුයි. එයා ආවෙත් හෙමින්. අපි කුඩේ එයාට දීලා වේගෙන් පල්ලම් බැස්සා. වැස්ස පොඩ්ඩක් පායපු ගමන් ටිකක් නැවතිලා ඉන්නවා තායි එනකන්. ඔහොම නැවතී නැවතී කන්ද බැහැලා අවසානේ පහලට එද්දී රෑ හතහමාරට විතර ඇති. බඩගින්නයි සීතලයි ...ඔක්කොටම වඩා කකුල් දෙක රිදෙනවා. දැන් ඉතින් ආපහු ඩෝමෙට්‍රි එකට යන්නත් ඕනේ. ඉක්මනට බස් එකක් අරන් අපි ආපහු එන්න පිටත් වුණා. හොදම හරිය ඊලග දවස් දෙක. ඇවිදගන්න බෑ තුන්දෙනාටම. කකුල් වල පේශි ඇදිලා....තදවෙලා....සෑහෙන ගේමක් දෙන්න වුණා ආපහු යතා තත්වෙට එන්න. තවත් දවස් දෙකක් නිවාඩු තිබ්බ හින්දා අවුලක් වුනේ නැහැ.

අවසානෙදි අපි එක නිගමනයකට ආවා. ඒ තමයි නිතර ව්‍යායාම කරන්න ඕනේ කියලා. අපි හොඳටම දැක්කා අපිත් එක්ක කන්ද නගින්න පටන් ගත්ත වයසක කොරියන් ආච්චිලා සීයලා අපි කන්දේ බාගක් නැගල ඉද්දි ආපහු බහිනවා. ඒගොල්ලෝ කොච්චර ශක්තිමත් හා නීරෝගීද කියලා හිතුණා.

අනිත්දේ තමයි මේ පෝස්ට් එක දාන්න දවස් 3කට කලින් මං ආයෙත් හල්ලා කන්ද නැග්ගා. ඒ ජේජු ජාතික විශ්වවිද්‍යාලයේ ඉන්න ශ්‍රී ලංකික මිතුරන් සමඟින්. මේ පාර නැග්ගේ ග්වානම්සා  පාරෙන්. කලින් පාරට වඩා ගොඩක් අමාරු පාරක්. ඒත් කන්ද උඩටම නැගගන්න  පුළුවන් වුණා.  කියන්න ඕනේ නෑ ඉතින්. මේ ටික ලියන වෙලාවෙත් කකුල් දෙක රිදෙනවා.

සමහර කොරියානුවන් හල්ලා කන්ද අවුරුදු පතා නගිනවා. එකපාරක් මට හම්බුනා තාත්තයි පුතයි ... ඒගොල්ලෝ කියන්නේ පිය පුතු සම්බන්ධතාවය වැඩිකරගන්න මේ වගේ සංචාර යොදාගන්නවා කියලා. මේවෙනකොට හැමෝම දන්නවනේ උතුරු කොරියාවයි දකුණු කොරියාවයි සෑහෙන දුරකට සාමදාන වෙලා කියලා. ඉතින් මේ ලඟදි දවසක දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් තමන්ගේ උතුරුකොරියානු සගයා කිම් ජොන් උන්ට  ආරාධනා කරා හල්ලා කන්ද නගින්න එන්න කියලා. මං හිතන්නේ තාම පිළිතුරක් ලැබිල නෑ. කෙසේවෙතත් හල්ලා නගිනවානම් කිම් ජොන් උන්ට ත් හොඳට ව්‍යායාම කරලා එන්න වෙයි.

මං හිතන් ඉන්නේ ආයෙත් නගිනවානම් වින්ටර් එකේ නගින්න. බලමුකෝ.දැනටමත් කොරියන් යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් වෙලා ඉන්නේ....
ශීත කාලේ හල්ලා
කලින් පෝස්ට් කියවන්න පහත ලින්කු ක්ලික් කරන්න...........

http://amarinsachithra.blogspot.com/2017/03/blog-post.html

http://amarinsachithra.blogspot.com/2017/02/blog-post.html


















Thursday, November 8, 2018

ඇය...........








කාලකන්නි වනචර හැත්ත ..........
ඇගේ නෙතඟින් නොකඩවා කඳුළු වැගිරෙයි. ගොම්මන බඩගාගෙන එන මේ වෙලාවේ මඩ වෙච්ච මිදුලට තද රතුපාට අවසන් රාස්සිගේ අව් කදම්බයද කොහෙද වැටිලා. වෙච්ච දේවල් මතක් වෙද්දී මුළු ඇඟම හිරිවැටිලා යනවා. මහා හිරිකිතකින් හිත හේබාවෙලාගිහින්. අවුල් වෙච්ච කොන්ඩෙන් මූණට වැටිච්ච කෙස් ගස් දෙකතුනක් කඳුළුවලින් තෙත්වෙලා මූණටම ඇලිලා. කීදෙනෙක් එක්ක ඔට්ටු වෙන්ඩ සිද්ද වුනාද. වනචර හැත්ත. අතපය හීරිලා. පැලිච්ච තොලෙන් ගලපු ලේ දැන් කැටි ගැහිලා. කකුල් දෙක එහෙට මෙහෙට කරන්ඩවත් බෑ. ඒ තරමට වේදනාවයි. ගණන් හදන්න හැදුවත් කීදෙනෙක්ට යටවුනාද කියල නිච්චියක් නෑ. එකපාර දෙතුන්දෙනත් හිටියනේ. කොන්ද කෙලින් කරන් නැගිට ගන්න බැරි තරමට ඇඟට වාරුවක් නෑ. පපුවේ බඩේ තියෙන නියපොතුපාරවල් විටින් විට කකියනවා. හෙටවෙද්දී කොරන ගමන් ගත්ත වීඩියෝ ලෝකේ පුරාම යවයි. කොටසක් ඒවා බලලා ආයෙත් මට හිතින් කොරයි. කාලකන්නි !!! උන් ඉපදුනේ කොහොමද කියලා උන්ට මතක නෑ. අවජාතක හිවල්ලු. සුදු ඇඳන් පන්සල් ගානේ ගිහින් 2500ක මොකද්ද එකක් ගැන කියවනවා හරියට නිකං දසසිල් සමාදන් වෙලා වගේ. ඒත් අවස්ථාව හම්බ වෙනකන් ඉන්නේ  ඕන බලු තුප්පහි වැඩක් කරන්න. අනුන්ගේ රෙදි ගලවලා ගලවලා උන්ටම මතක නෑ උන් දැන් ඉන්නේ රෙදි ඇඳන්ද කියලා.

Thursday, January 4, 2018

සැඟවුණු සමුද්‍රීය සම්පත්




මීට කලකට ඉහත මා විසින් ලංකාවේ පළවන වාර්ෂික සඟරාවකට ලියු ලිපියකි. අවාසනාවකට ඔවුන් අතින් මෙය පළ නොවූ අතර මෙහි කියැවෙන දෑ පාඨකයාට රුචි නොවේයැයි හැඟෙන්නට ඇත (මුලින් ඉංග්‍රීසි බසින් ලියු ලිපිය සිංහලට පරිවර්තනය කළයුතුයැයි ඔවුන් මා වෙත දැනුම් දුනි). බ්ලොග් පාඨකයන් වන ඔබට මෙය කෙසේ රුචි වේ දැයි නොදනිමි. නමුත් ලංකාවේ අනාගතය ගැන අබමල් රේණුවක් තරම් හෝ සිතන්නෙක්ට මෙය වැදගත් වේයැයි සිතමි.
Image result for sea in sri lanka

                                              
අවුරුදු දහස් ගණනකට පෙර සිටම මිනිසා සාගරයේ  පවතින ජීවී සහ අජීවී සම්පත් ප්‍රයෝජනයට ගනී. ඊට අමතරව සාගරය ‍ප්‍රවාහන මාධ‍යක් සහ විනෝදාස්වාදය සපයන ස්ථානයක් ලෙස වර්තමාන ලෝකයේද විශාල කර්යභාර්යයක් ඉටුකරයි. ඍජු හා ව‍ක්‍ර ලෙස ගෝලීය දේශගුණය කෙරෙහි සාගරයේ මැදිහත් වීම අතිමහත්ය. වසරකට එය වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් (වැඩි ‍ප්‍රමාණයක් මිනිස් ‍ක්‍රියාකාරකම් නිසා නිපදවේ) ටොන් ගණනක් අවශෝෂණය කර මිහිමත ජීවයේ පැවැත්මට සහය වෙයි. ඒවගේම මිහිමත සියලු සතුන්ගේ ආශ්වාසයට අවශ්‍ය ඔක්සිජන් වායුවෙන් අඩක් නිපදවයි. ඉහත දැක්වූ ප්‍රධාන කරුණු හා තවත් කාරණා රැසක් නිසා සාගරය ආර්ථික සහ පාරසරික වශයෙන් වටිනා සම්පතක් ලෙස හඳුනාගෙන ඇත. 
ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ කේන්ද්‍රගත දුපතක් වීම තුළ දිවයින මෙන් හත් ගුණයක සාගර කලාපයකට උරුමකම් කීමට හැකියාව ලැබී ඇත. නමුත් අප විශාල සාගර කලාපයක අයිතිකරුවන් වූ පමණින් එහි උපරිම ඵල අත්පත්කරගෙන තිබේද? පසුගිය දශක කිහිපය පිලිබඳ විමසා බලන විට මේ පිලිබඳ විවිධ මත පලවී ඇති අතර දේශපාලනික, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන බොහොමයක් තවමත් ප්‍රයෝජනයට නොගත් සම්පත් ප්‍රශස්ත හා තිරසාර ලෙස භාවිතයට ක්‍රමෝපායන් හා කෙටුම්පත් සකස් කරමින් සිටී. හරිත විප්ලවය (Green revolution - සීඝ්‍ර කෘෂිකාර්මික සංවර්ධනය) පරයමින් නීල  විප්ලවයක් (Blue revolution - ජලජ සම්පත් මත වූ සීඝ්‍ර සංවර්ධනය) පිළිබඳව වූ බලාපොරොත්තු සාගර සම්පත් කෙරෙහි වැඩි නැඹුරුතාවයක් ඇතිකිරීමට හේතු වී ඇත. මෙතෙක් සකස්කර ඇති සැලසුම් පදනම් වී ඇත්තේ මූලික  වශයෙන් මත්‍ස්‍ය  සම්පත්, ඛනිජ සම්පත් හා සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට වේ. එම සම්පත් රටට ඉතා වැදගත් වන අතර දැනටමත් ශ්‍රී ලංකාව් ආර්ථිකයෙන් සැලකිය යුතු කොටසක් නියෝජනය කරයි. නමුත් මෙම ලිපියේ අරමුණ තවම විධිමත් අවධානයක් යොමු නොවූ සහ අනාගතයේ විශාල ආර්ථික වාසි  ලබාගත හැකි සාගර සම්පත් විශේෂයක් වන සමුද්‍රීය ජෛව ‍ක්‍රියාකාරී සංයෝග (Marine bioactive compounds) පිලිබඳ යම් අදහසක් පාඨකයාට ගෙනඒමයි.

ජෛව ‍ක්‍රියාකාරී සංයෝග සහ ඒවායේ කෘත්‍යයන්
ජීවීන්, පටක, හෝ සෛල තුල පවතින විවිධ උපස්තර මත සුවිශේෂී අන්දමින් ‍ක්‍රියාකරන (substrate specific) රසායනික සංයෝග ජෛව ‍ක්‍රියාකාරී සංයෝග ලෙස සරලව හඳුනාගත හැක. ඒ ඒ සංයෝග රසායනික ව්‍යුහය අනුව වෙනස්වන අතර එන්සයිම, වර්ණක, ‍‍ප්‍රතිඔක්සිකාරක, මේද අම්ල, පොලිසැකරයිඩ සහ ෆීනොලික සංයෝග ඒවායින් ‍ප්‍රධාන වේ. ඉහත සංයෝග ඒවායේ කාර්යභාරය අනුව වර්ගීකරණය කළ හැක.  ඖෂධ (‍ප්‍රතිජීවක, ‍ප්‍රති පිලිකා කාරක, ‍ප්‍රති ප්‍රදාහමය සහ වයස්ගතවීම පමා  කරන සංයෝග ආදිය) රූපලාවන්‍ය විලේපන, පෝෂණ අතිරේක, ජෛව පිළියම් (bio-remedies) සඳහා භාවිත කරන සංයෝග සහ ‍ප්‍රති සන්චයනික සංයෝග (Antifaulings - ක්ෂුද්‍ර ජීවීන්, ශාක, ඇල්ගී හා සත්ව විශේෂ තෙත් වූ පෘෂ්ඨ මත බැඳීම වලක්වන සංයෝග) ලෙස ඒවා දැක්විය හැක.
 

රූප සටහන 01: සෞඛ්‍යමය  හා ආර්ථික වටිනාකමක් ඇති ප්‍රති දිලීර (Anti-fungal) සංයෝග නිපදවන සමුද්‍ර ජීවීන් කිහිපයක්. (උපුටා ගැනීම: Algix.com, 2017)



ජෛව ‍ක්‍රියාකාරී සංයෝගවල  අවශ්‍යතාවය
නව ඖෂධ සෙවීමේ ‍ක්‍රියාවලියේදී බහුවිධ ඖෂධ සඳහා ප්‍රතිරෝධී වූ ක්ෂුද්‍රජීවී වයාධිජනකයින්ට (multidrug-resistant microbial pathogens) එරෙහි සංයෝගවල දැඩි අවශයයතාවයක් පවතී. ගෝලීයකරණ ‍ක්‍රියාවලිය  ප්‍රතිරෝධී ක්ෂුද්‍රජීවී විශේෂ ලොව පුරා සංසරණය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත. තවද වයස්ගතවීම, ප්‍රතිශක්තීකරණ දුර්වලතා සහ සංකීර්ණ ශල්‍යකර්ම හේතුවෙන් මිනිසා වැඩි වේගයෙන් ආසාදන වලට ගොදුරුවීමේ අවදානමක් පවතී. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ රෝගවලට ගොදුරු වීමේ හැකියාව ඉහල යාම,  මර්ත්‍යතාව හා සෞඛ්‍ය පහසුකම් සඳහා වන අධික වියදමයි. ඉහත කරැණු විමසා බලන විට නව ඖෂධ සහ ජෛව ක්‍රියාකාරී සංයෝග වල අවශ්‍යතාවය හොඳින් පැහැදිලි වේ. කෙසේ වුවත් අනාගතයේදී ඇතිවිය හැකි ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවී රෝග සහ පිළිකා වැනි බෝ නොවන රෝග සඳහාද නව ව්‍යුහමය ස්වභාවික රසායනික සංයෝග (structurally novel chemical compounds) ඉතා වැදගත් වේ. ඒවගේම ඒවා ආශ්‍රි නිෂ්පාදන හා කර්මාන්ත එක් එක් රටවල ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් නියෝජනය කරනු ඇත.

ජෛව ‍ක්‍රියාකාරී සංයෝග සඳහා ප්‍රභවයක් ලෙස සාගරයේ වැදගත්කම
පසුගිය දශක දෙකක කාලය තුළ මුහුදු පැළෑටි සහ සත්ව විශේෂ ගණනාවක් සමීක්ෂණයට ලක් කිරීමෙන් ඔවුන් සතු මිනිසාගේ පැවැත්මට වැදගත් නව ව්‍යුහාත්මක රසායනික සංයෝග විද්‍යාඥයින්  විසින් හඳුනාගෙන ඇත. බොහෝවිට ඒවා එම ජීවීන්ගේ  ද්විතීක පරිවෘතිමය ශ්‍රාවයන් (secondary metabolites) වේ. එනම් සෛල තුල පරිවෘතීය ක්‍රියා සිදුවන විට නිපදවන, ඍජුව වර්ධනය හෝ ප්‍රජනනය සඳහා බල නොපාන කාබනික සංයෝග වේ. මීට දශක කිහිපයකට පෙර ඒවායින් එම  ජීවීන්ගේ පැවැත්මට කිසිඳු ප්‍රයෝජනයක් නොමැති යැයි සැලකුවද පසුකාලීනව  කළ  පරීක්ෂණ වලදී ඒවා උක්ත ජීවීන් හට තම වාසස්ථානය තුළ පැවැත්ම තහවුරු කරගැනීමට උපකාරීවන බවට නිගමනය විය. එනම් ඔවුන් විසින් නිපදවන බොහෝ ද්විතීක පරිවෘතීය සංඝටක ඔවුන් ජීවත් වන පරිසරය නිසා හටගන්නා බවයි. සාගර ජීවීන් සඳහා සලකා  බලන කළ එය ඍජුව සාගර පරිසර පද්ධති විවිධත්වය මත රඳාපවතින අතර විවධ කටුක පරිසර වල ජීවත්වන ජීවීන්ගේ මෙම සංඝටක විවිධත්වයද අධික වේ.

නිවර්තන කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාව අවට මුහුදු  ප්‍රදේශය කඩොලාන බිම්, කරදිය වගුරු බිම්, පාෂාණමය හා වැලි සහිත වෙරල තීර, කලපු, මෝය, කොරල්පර , මුහුදු තෘණ  බිම්, මුහුදු ඇල්ගී බිම් සහ ක්‍රමයෙන් ගැඹුර වැඩිවෙමින් යන විවෘත සාගර කලාපයකින් සමන්විත වේ. මෙම පරිසර පද්ධති විවිධත්වය එහි ජෛව විවිධත්වය කෙරෙහි ඍජුව බලපා ඇත. එම විවිධත්වය නව  ව්‍යුහාත්මක විවිධත්වයකින් යුත් ජෛව ක්‍රියාකාරී සංයෝග නිපද වීමට  ශ්‍රී ලංකාවේ සාගරය සතු ශක්‍යතාව විදහා දක්වයි.




රූප සටහන 02: දියුණු තාක්ෂණික ක්‍රමවේදයන්ගේ සංකලනයෙන් සමුද්‍රික සම්පත් මගින් ඖෂධ නිපදවීම පිලිබඳ දල සටහනක් (උපුටා ගැනීම: Montaser and Luesch, 2011)



දැණුම හුවමාරුව සහ යටිතල පහසුකම්
ලෝකයේ වෙනත් රටවල් බොහොමයක් නොපෙනෙන සාගර සම්පත් පිලිබඳ ගවේෂණය සහ පර්යේෂණ පැවැත්වීම ආරම්භකර තිබේ. ඊට හොඳම උදාහරණය අපගේ සමීපතම රට වන ඉන්දියාවයි. සමුද්‍රික ජෛව  ක්‍රියාකාරී සංයෝග මත පදනම් වූ ශක්තිමත් ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයක් ඔවුන් සතුවන අතර ඒ පිලිබඳ වූ පර්යේෂණ ලිපි සිය ගණනක් වසරකට එළිදක්වයි. මුලික පියවර විය යුත්තේ මෙම ක්ෂේත්‍රය පිලිබඳ දැනුම වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කිරීමයි. සමුද්‍රීය ස්වභාවික සම්පත් ආශ්‍රිත පර්යේෂණ සහ සංවර්ධන කටයුතු තවදුරටත් නංවාලිය යුතු අතර  එම ක්‍රියාවලිය තුළ විශ්ව විද්‍යාල, අනෙකුත් පර්යේෂණ ආයතන හා උසස් අධ්‍යාපන ආයතනවල විද්වතුන්හට සුවිශේෂී කාර්යභාර්යයක් පැවරී ඇත. ක්ෂේත්‍රය පිලිබඳ විදේශ පුහුණුව සහ උසස් අධ්‍යාපන අවස්ථා වඩා  වැදගත්වනු ඇත. එසේම ලබාගත් දැණුම උක්ත සම්පත් දායකයින් විසින් රටට නැවත ලබාදීමට කටයුතු කිරීමද අතිශයින් වැදගත් වේ. ක්ෂුද්‍රජීව විද්‍යාවට (Microbiology)  හා ජෛවතාක්ෂණයට (Biotechnology)   අදාල යටිතල පහසුකම් වැඩි වශයෙන් අවශ්‍ය වන අතර අදාල පර්යේෂණ උපකරණ සහ හොදින් පුහුණු වූ තාක්ෂණික නිලධාරීන් පර්යේෂණ සංවර්ධන කටයුතු සඳහා මනා  පිටිවහලක් වනු ඇත.


අරමුණු සාක්ෂාත් කර ගැනීම
අධ්‍යාපන, පර්යේෂණ සහ සංවර්ධනයට අදාල රාජ්‍ය ආයතන, සෞඛ්‍ය ක්ෂේත්‍ර‍ය සහ සමුද්‍රිය කටයුතු පිලිබඳ ආයතන ආදියේ  සහය වැදගත්වනු ඇත. සැඟවී ඇති සාගර සම්පත් ගවේෂණය කිරීමේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ආයතන අතර මනා අන්තර් සම්බන්ධතාවයකින් යුත් කාර්යය සැලැස්මක් අවශ්‍ය වේ. කාර්යක්‍ෂම අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක පර්යේෂණ ව්‍යාපෘති ඉලක්ක සැබෑ  කරනු ඇත.



References:
  • Algix.com. (2017). Natural Products from Marine Organisms: ALGIX | Algae Bioplastics. [online] Available at: http://algix.com/natural-products-from-marine-organisms/ [Accessed 19 Jan. 2017].
  • Geomar.de. (2017). Marine Microbial Resources « Research Topics « Marine Microbiology « Marine Ecology « Research « GEOMAR - Helmholtz Centre for Ocean Research Kiel. [online] Available at: http://www.geomar.de/en/research/fb3/fb3-mi/research-topics/marine-microbial-resources/ [Accessed 17 Jan. 2017].
  • Hettiarachchi, S. (2016). Climate change and coastal aquaculture in Sri Lanka. 1st ed. [ebook] Colombo: Marine Environment Protection Authority, pp.13-21. Available at: https://www.researchgate.net/publication/308265852_Climate_Change_and_Coastal_Aquaculture_in_Sri_Lanka [Accessed 19 Jan. 2017].
  • Jensen, P. and Fenical, W. (1996). Marine bacterial diversity as a resource for novel microbial products. Journal of Industrial Microbiology & Biotechnology, 17(5-6), pp.346-351.
  • Monciardini, P., Iorio, M., Maffioli, S., Sosio, M. and Donadio, S. (2014). Discovering new bioactive molecules from microbial sources. Microbial Biotechnology, 7(3), pp.209-220.
  • Montaser, R. and Luesch, H. (2011). Marine natural products: a new wave of drugs? Future Medicinal Chemistry, 3(12), pp.1475-1489.