Friday, April 15, 2022

අප්‍රේල් අරගලය

 

 

 


Art: By Samitha Thilakarathna

අවුරුදු 74 කට පස්සේ ලංකාවේ මිනිස්සු එකතුවෙලා...
සම්ප්‍රදායිකව හිතන වැඩිහිටි පරම්පරාවේ කීපදෙනෙක්ට තාමත් මේක හීනයක් වගේ පේන්නේ...
ඒක සමහර විට ඒගොල්ලොන්ගේ වැරද්දක් නොවුනත් ...
ටික දවසකින් ඒගොල්ලොත් මේක විශ්වාස කරන්න පටන්ගනිවී..

අරගලය මට පේන්නේ පෙනේරයක් වගේ..
හැමෝම අනිත් මිනිස්සු වෙනුවෙන් කැඩිලා බිඳිලා පෙනේරේ ඇතුලෙන් යනවා...
අන්තිමට පෙනේරේ ඉතුරුවෙන්නේ...
අවස්ථාවදීන්, අන්තවාදීන් හා උද්දච්ච කුහකයෝ ටික විතරයි...

අනාගත අසිරිමත් ලංකාවක් උදෙසා වැයවෙන...කැඩෙන බිඳෙන...අපේ මිනිස්සුන්ට
ඒ අනාගතය ණයගැතියි...
අනාගත පරම්පරාව ඔවුන් වෙනුවෙන් තුති ගී ගයාවී...

අරගලයට ජය!!!!


Saturday, May 22, 2021

අයිතිය?


ඡායාරුපය  ; මුහුණු පොතෙන් 
 

 දේශයේ
කුසුම
නුඹ  මා පුත
නැත අයිතියක් කිසිවක

Monday, May 10, 2021

"එන්නත් කිරීමේ විදේශ ගමන් බලපත්‍රය"

 
 
 
 
ලෝකයේ බොහෝ රටවල් මේ වනවිටත්  COVID-19 වයිරසයට එරෙහි එන්නත්කරණය පිලිබඳ දැඩි උනන්දුවකින් කටයුතු කරයි. එන්නත් කරණයේ මුලික අරමුණ වී ඇත්තේ රටේ සමස්ත ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයකට එන්නත ලබාදී ප්‍රජා මුලික ප්‍රතිශක්තිකරණයක් අත්පත්කර ගැනීමයි. මුල් අවදියේදී මෙය ස්වභාවිකව සිදුවේයැයි විශ්වාසකලත් වසංගතයේ අදියරයන් නොනවත්වා පැතිරීම හේතුවෙන් අද වනවිට එය පහසුවෙන් ළඟාකර ගත නොහැකි ඉලක්කයක් වී හමාරයි. ඒ හේතුව නිසාම එන්නත්කරණයට වැඩි මුලිකත්වයක් දී කටයුතු කිරීමට රටවල් යොමුවී ඇත.

මෙහි නවතම අදියර වී ඇත්තේ "එන්නත් කිරීමේ විදේශ ගමන් බලපත්‍රය" භාවිතා කල යුතුද නැද්ද යන්නයි. එන්නත් කිරීමේ විදේශ ගමන් බලපත්‍රය යනු පුද්ගලයෙකුට COVID-19 ට එරෙහිව එන්නත් ලබා දී ඇති බවට තහවුරු කරන සහතිකයක් ය. මෙම සහතිකය පෙන්වන අයට දිගුකාලීන වසංගත තත්වය තුළ  තුළ  වඩාත් නිදහසේ සංචාරය කිරීමට හෝ විවේක ක්‍රියාකාරකම් භුක්ති විඳීමට ඉඩ දීම වැනි ප්‍රතිලාභ කිහිපයක් ලැබිය හැකිය.

සමහර රටවල් දැනටමත් ඒ හා සමාන වැඩසටහන් හඳුන්වා දී ඇති අතර තවත් සමහරක් එසේ කිරීමට සැලසුම් කර ඇත. දකුණු කොරියාව තවමත් එවැනි එන්නත් විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වාදී  නැත. නමුත්, මැයි 5 වනදා සිට, ඕනෑම විදේශ සංචාරයකින් ආපසු පැමිණීමේදී  එනත්කරණයට ලක්වූ පුද්ගලයන් දින 14 ක හුදකලා කාල සීමාවෙන් නිදහස් කිරීමට තීරණය කර ඇත. එසේම එම පුද්ගලයා කොවිඩ් රෝගියෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වුවද මෙම නිදහස බුක්තිවිඳීමට අවස්ථාව සැලසේ. රෝහල්, ආපනශාලා, ජ්‍යෙෂ්ඨ  පුරවැසි ප්‍රජා මධ්‍යස්ථාන වැනි බොහෝ අය නිතර ගැවසෙන ස්ථාන වලට පැමිණෙන විට එන්නත ලබා ගත් පුද්ගලයින්ට එය  ලැබී ඇති බව සනාථ කිරීම සඳහා ජංගම දුරකතන යෙදුමක් පෙන්වීමට ඉඩ දීම පිළිබඳව ද සලකා බලමින් සිටී. මෙය වක්‍රාකාරව "එන්නත් කිරීමේ විදේශ ගමන් බලපත්‍රය" වැනිම වූ වැඩපිලිවලකි. මේ සඳහා සහයෝගය දක්වන කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ මෙමඟින් ක්‍රමයෙන්  අවප්‍රමානවන ආර්ථික වර්ධන වේගය නැවත ලබාගත හැකි බවයි. සුරක්ෂිත සංචරණ අවස්ථා ලබාදීම මඟින් ජනතාවට නොබියව තම එදිනෙදා කාර්යයන් ඉටුකර ගැනීමට මෙමඟින් අවස්ථාව උදාවනබවයි බොහෝදෙනාගේ මතය.
 


මේ පිලිබඳ දකුණු කොරියාවේ කළ මත විමසුමකින්  සියයට 36.4 ක් කියා සිටියේ තමන්ට විදෙස් සංචාර සඳහා යාමට අවශ්‍ය බවත්, සියයට 24 ක් දේශීය සංචාර සඳහා වඩාත් නිදහසේ යාමට කැමති බවත්, සියයට 19.3 ක්  ප්‍රසංග හෝ චිත්‍රපට නැරඹීම වැනි සංස්කෘතික කටයුතුවල නිරත වීමට කැමති බවත්ය. කෙසේවෙතත් මෙම බලපත්‍රය නොමැති පුද්ගලයින් සඳහා වෙනස්ලෙස සැලකීමට ඇති හැකියාව පිලිබඳ ඔවුන් කණස්සල්ල පළකර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සංචාරය සඳහා එන්නත් කිරීමේ විදේශ ගමන් බලපත්‍ර අවශ්‍ය බවට විරෝධය පළ කර ඇති අතර, එන්නත් කිරීම මගින් වෛරස් සම්ප්‍රේෂණය මෙන්ම අසමානතාවය සැබවින්ම වළක්වයිද යන්න පිළිබඳව කාරනා සැලකිල්ලට ගනිමින් සිටී.

"ලෝක සෞඛ්‍ය සංවිධානය ලෙස අපි මේ අවස්ථාවේ දී කියා සිටින්නේ "එන්නත් විදේශ ගමන් බලපත්‍රය" ඕනෑම රටකට ඇතුළුවීම හෝ පිටවීම සඳහා අවශ්‍යතාවයක් ලෙස දැකීමට අප අකමැති බවයි. මෙම අවස්ථාවේදී එන්නත රෝගය සම්ප්‍රේෂණය වීම වළක්වන බව අපට විශ්වාස නැත,එක් හේතුවක් හෝ වෙනත් හේතූන් නිසා එන්නත ලබා ගැනීමට නොහැකි පුද්ගලයින්ට වෙනස් කොට සැලකීම පිළිබඳ ප්‍රශ්නය ද මෙහිදී බරපතල ලෙස සාකච්ඡාවට බඳුන්විය යුතුයි. ”ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක මාග්‍රට් හැරිස් පසුගිය මාසයේ එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියාය.

ඊශ්‍රායලය මේ වන විටත් “හරිත මුරපදයක් (green pass )” යොදවා ඇති අතර එමඟින් මිනිසුන්ට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී තිබේද යන්න හෝ රෝගයෙන් සුවය ලැබීමෙන් පසු ප්‍රතිශක්තිය උපකල්පනය කර ඇත්ද යන්න පෙන්වයි. එහෙත් මෙම වැඩසටහන නිසා මානුෂීය සමානාත්මතාවය කෙරෙහි එල්ලවන බලපෑම පිළිබඳ එම රටේ ඇතැම් විචාරකයින්ගේ හෙලාදැකීම් හා විරෝධතාවන්ට ලක්වී තිබේ.

මේ පිලිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අසාන් වෛද්‍ය මධ්‍යස්ථානයේ මහාචාර්යවරයෙකු වන කිම් ජැං-හාන් සිය තීරුවේ ලියා තිබෙන්නේ COVID-19 පැතිරීම දිගටම පවතින තාක් කල්, මුහුණු ආවරණ පැළඳීමේ මාර්ගෝපදේශ සහ සමාජ දුරස්ථබාවය  පවත්වා ගැනීම, වෛරසයට ප්‍රතිකාර කිරීම සහ වෛරස් තත්වයන් සහ වෛද්‍ය ධාරිතාව අධීක්ෂණය කිරීම,  "එන්නත් විදේශ ගමන් බලපත්‍රය" වැනි ප්‍රති වයිරස පියවරයන්ට වඩා වැදගත්වන බවයි.

කොරියා ටයිම්ස් ඇසුරිනි.




Friday, January 8, 2021

සීත සිතුවිලි

සේයාරුව : අමරින්

 

සරතැසින්

වැලපෙන්නට ගැහෙන්නට 

මේ කටුක සීත දුරුත්තේ 

පීදුනේ කිම ගියවර වසත් කල

එනමුත්  

හිඳිමි මගබලා 

මීළඟ වසන්තය එනතුරු

Tuesday, April 23, 2019

මම ඔබට ආදරෙයි නොහොත් පාස්කුව








2019 අප්‍රේල් 21 වනදා - පාස්කු ඉරිදා


බිරිඳ සහ තවත් ශ්‍රීලාංකික මිතුරියන් දෙදෙනෙක් සමඟින් මා  සිටියේ ජේජු නගරයේ ජුංඅං  පාරේ පිහිටි කතෝලික දේවස්ථානයේය. පස්වරු එකහමාරට පැවැත්වෙන දේව මෙහෙය විදේශිකයින් සඳහාම වුවක් නිසා කොරියානු නොවන මුහුණු වලින් පල්ලිය පිරී තිබුණි. වෙනදාට ගමේ පිහිටි කුඩා පල්ලියට (සෙවා ) ගොස් කොරියානුවන් සමඟ පමණක් පාස්කු සමරන මා මෙවර ජේජු  නගරයේ පැවැත්වෙන මෙම දේව මෙහෙයට පැමිණියේ වෙනත් කිසිවක් නිසා නොව අපත් සමඟ සිටි මිතුරියගේ ඉල්ලීම පරිදිය. අනෙක් මිතුරිය බෞද්ධ වුවත් ඇයද දේවස්ථානයට පැමිණියේ පාස්කු ඉරුදින දේව මෙහෙය දැකබලා ගැනීමේ අරමුණිනි.

දේව මෙහෙය ආරම්භ කිරීමට විනාඩි පහළොවක් පමණ ඉතිරිව තිබෙන්නට ඇත. හදිස්සියේ මාගේ දුරකථනය නාද වන්නට විය. ජෙජු ජාතික විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තවත් මිතුරෙකුගෙන් පැමිණි දුරකථන ඇමතුම සක්‍රිය කල මා ඔහු කී දෙයින් තැතිගැන්වුනු නිසා මොහොතක් නිශ්චලව හිඳ මගේ බිරිඳට සහ මිතුරියට ඒ පණිවිඩය පවසා වහාම ලංකාදීප ඊ නිව්ස් පරීක්ෂා කර බැලුවෙමි. ආරංචිය ඇත්තය. පල්ලි දෙකකට ගහලා. තවත් බෝම්බ පුපුරලා තිබුණි. කතෝලික මිතුරියගේ ගම ඊට ආසන්න නිසා ඇගෙන් හරියටම පවුලේ අය යන පල්ලිය අසා දැනගන්නට අපට උවමනා විය. ඇය සිටියේ අපි වාඩිවී සිටි බංකුවට මදක් පසුපසින් පිහිටි බංකුවකය. ඒ පඬුරු පෙරහැර සඳහා ඇයට සහභාගී වන්නට යැයි කළ ආරාධනාවකට අනුවය. ක්ෂණිකව අනෙක් මිතුරිය ඈ ලඟට ගොස් පවුලේ අය යන පල්ලිය සහ ගිය වේලාව අසා දැනගෙන පැමිණියාය. වාසනාවට කිසිඳු කරදයක් නොවීය.

පස්වරු එකහමාරයි. පාස්කු දිව්‍ය පුජායාගය ආරම්භ කරන බවට කරන ලද දැනුම් දීමත් සමගම ඇතුල්වීමේ ගීතිකාව ආරම්භ විය. එය ගායනා කෙරුනේ පිලිපීන භාෂාවෙනි.

පියතුමා (කොරියානු භාෂාවෙන්): සියලුදෙනාට ජේසු පිහිටයි. සුභ පාස්කු මංගල්ලයක් වේවා.

ජනතාව: ඔබටත් එසේම වේවා.

පියතුමා: මං දැන් ඔබගේ රටේ නම කියනවා. එතකොට අත උස්සන්න ඕනේ. වියට්නාම් , පිලිපීන්, ශ්‍රී ලංකා, උස්බෙකිස්තාන්, ටිමෝර්, ඉන්දියා, ඇමෙරිකා, අයර්ලන්ඩ්, පාකිස්තාන්, අන්තිමේට කොරියා.

සෙනග තම රටේ නම කියන විට අත ඔසවා ප්‍රතිචාර දැක්වීය.

පියතුමා: මං දන්නවා අපි හැමෝටම කොරියන් තේරෙන්නේ නැහැ. නමුත් අපි හැමෝටම තේරෙන එක දෙයක් තියනවා. ඒ තමා ජේසුගේ ආදරය. කොහොමද ඔගොල්ලොන්ගේ භාෂා වලින් "මම ඔබට ආදරෙයි" කියලා කියන්නනේ...

සෙනඟ තම තමන්ගේ භාෂාවලින් " මම ඔබට ආදරෙයි " යන්න හඬ නගා පැවසූහ.

ඉන්පසු වෙන වෙනම පියතුමා විසින් ඒ ඒ ජාතින් ගෙන් එය පැහැදිලිව ඇසෙනසේ උච්චාරණය කරන ලෙස ඉල්ලා සිටින ලදී. අපිත් සිංහලෙන් "මම ඔබට ආදරෙයි" ලෙස අසීරුවෙන්  හඬ නගා පැවසීමු.  ඒ ජාතීන් අතරේ අසරණ කමේ කඳුළු අසීරුවෙන් නෙත් කොනේ සඟවාගෙනයි.

ඒවෙලෙහි එහි සිටින කවුරුවත් ශ්‍රී ලාංකිකයින් ලෙස අප සිටි තත්වය දැන සිටියේ නැත. හදවතින් හඬමින්, අපේ රට වෙනුවෙන්  දෙවියන් යැදු අපි වහා නවාතැන් පොළ බලා ඇදුනෙමු.
සහභාගීවූ සෙනඟ



Tuesday, December 11, 2018

ඉර බහින හැන්දෑවේ ග්වානම්සා පන්සලට.....




ප්‍රධාන බුදු ගෙය


 මේ පාර කියන්න හදන්නේ  පහුගිය වීකෙන්ඩ් එකක හදිස්සියේ යාළුවො කට්ටියත් එක්ක ගිය පන්සලක් ගැන. ග්‍රීෂ්ම කාලේ නිමා වෙලා දන්නෙම නැතුව සරත් කාලේ ලබලා තිබුණා. මේ කාලෙට හවස් බාගේ ඉඳහිට වැටෙන පොද වැස්ස සාමාන්‍ය දෙයක්. අපි කාටත් නිවාඩු ඉරිදා හවස්කාලේ පන්සල් යමු කියලා පොඩි යෝජනාවක් ආවා. ලංකාවෙදි නම් පෝයට කෙසේවෙතත් මාසෙකට සැරයක් දෙසැරයක් හරි පන්සලකට ගොඩවෙන එක මහදෙයක් නොවුනත් කොරියාවේ ගෙවන මේ කාර්යභහුල ශිෂ්‍ය ජීවිතෙත් එක්ක ඒක විශේෂ අවස්ථාවක්. අනික් අතට ලංකාවේ වගේ හැම තැනම පන්සල් නෑ. ගමනට එක් වුණේ ජේජු ජාතික විශ්වවිද්‍යාලයේ මගේ යාළුවො සහ තව කෙනෙක්. ඒ මගේ බිරිඳ. පහුගිය මැයි මාසයේ අපි විවාහ වුනත් ඇයට කොරියාවට එන්න ලැබුනේ නොවැම්බර්  අග. මේ වගේ ක්ෂණික ගමන් යන්න අපිට තවත් හේතුවක් තියනවා දැන්. ඒ තමයි මටයි තව ජේජු කැම්පස් එකේ යාලුවෙකුටයි කාර් දෙකක් තිබීම. ඉතින් දහදෙනෙක් වගේ සෙට් වුනොත් ලේසියෙන්ම කාර් වල යන්න පුළුවන්. විවාහවෙලා කොරියාවට ආවට පස්සේ මම කොරියානු රියැදුරු බලපත්‍රය ලබාගත්තා. පස්සේ වෙලාවක ඒ ගැනත් කියන්න හිතාගෙන ඉන්නේ. හරි දැන් කතාව කියන්නම්කෝ.

ඉර බහින හැන්දෑවේ සිහින් පොද වැස්සත් එක්ක ගමන පටන් ගත්තේ ග්වානම්සා (Gwaneumsa) පන්සලට යන්න. පන්සල පිහිටලා තියෙන්නේ ජේජු ජාතික විශ්වවිද්‍යාලයට දකුණු දෙසින්. ප්‍රධාන පාර අද්දරමයි. ඒ ප්‍රදේශයම අයත්වෙන්නේ හල්ලා කන්ද ආශ්‍රිත රක්ෂිතයට. ඒ හින්දා ගමන්මාර්ගය වැටිලා තියෙන්නේ කැලෑවක් මැද්දෙන්. සරත් කාලේ පතනශීලි වනාන්තර වල දකින්න පුළුවන් රතු, කහ, දුඹුරු, සහ තැඹිලි පාටින් මුළු පළාතම වර්ණගැන්විලා.

පන්සලට ඇතුළුවෙන්න දොරටු කීපයක්ම තියෙනවා. ඒ අතරින් ප්‍රධාන දොරටුව හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. මොකද එතන තියනවා ධර්මචක්‍ර මුද්‍රාවෙන් නිර්මාණය වුණු විශාල ඉඳි පිළිමයක්. පන්සල් භුමිය ඉතාම නිස්කලංකයි. ඉඳහිට නැගෙන කාක්කෙකුගේ ශබ්ධය හැරෙන්නට ඇහෙන්නේ හුලං හමන ශබ්ධය විතරයි. කාක්කෝ කිවුවහම ලංකාවේ අපිට මතක් වෙන්නේ කුණු නේ. ඒත් මේ ප්‍රදේශයේ ජීවත්වන කාක්කෝ හල්ලා රක්ෂිතයට විශේෂයි. ඔවුන්ගේ නිවහන හල්ලා රක්ෂිතයයි. මේ කොරියානු කාක්කෝ ලංකාවේ කාක්කන්ට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාලයි. ශබ්ධයේත් පොඩි වෙනසක් තියෙනවා. තාරතාවයේ අඩු ගතියක්. අපේ කාක්කෝ "කාක්"  කියලා කෑ ගැහුවත් මුන් කෑ ගහන්නේ "කා" කියලා.
ප්‍රධාන දොරටුව අසල පිළිමය



පන්සල් භුමිය පිහිටලා තියෙන්නේ උස් මට්ටම් කීපයකින්. පහළ ඉඳන් බලනවිට ඉහලින්ම තියෙන්නේ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවක්. ඒ ස්ථානයේ ඊට පිටුපසින් තවත් කුඩා ප්‍රතිමා සිය ගණනක් තැන්පත් කරලා තියනවා. පරික්ෂාකාරීව බැලුවොත් ඒවත් එකින් එකට වෙනස් ආකාරයට නිර්මාණය කරපුවා බව පේනවා. සියල්ල සටහන්කරලා තියෙන්නේ කොරියන් වලින් හින්දා අපිට එච්චර පැහැදිලිවුනේ නෑ. නමුත් තුන් දිශාවේ පිහිටි කුඩා පිළිම තුන් පිරිසක් නියෝජනය කරන බව පිළිමවල බාහිර වෙනස්කම් හා සමානකම් වලින් පෙනීගියා. 
විශාල ප්‍රතිමාව පිටුපස ඇති පිරිවර ප්‍රතිමා


ඒ භූමියට පහලින් බුදු කුටි පිහිටලා තිබුණා. ඉටි පන්දම් රඳවන, ඔර්කිඩ් මලින් බරවූ මල් පෝච්චි, සිවිලිමේ එල්ලෙමින් තිබු පහන් කූඩු සහ ස්පීකර වලින් සෞම්‍ය ලෙස ගලා එමින් තිබු නුහුරු ස්වරස්ථාන වලින් ගැයෙන ගාථා ඛණ්ඩ සිතට නැවුම් වූ නුහුරු අත්දැකීමක් ලබාදුන්නා. ඒ විතරක් නෙවෙයි. බුදුගේ පැත්තක ග්‍රෑන්ඩ් පියානෝවකුත් තිබ්බා. කොහොම වුනත් පන්සලක් ඇතුළට  ආවාට පස්සේ දැනෙන සන්සුන්බව අඩුවක් නැතුව එතනත් තිබ්බා. 
ප්‍රධාන බුදු ගෙය ඇතුලත

දැන් තිබෙන ග්වානම්සා පන්සල ඉදිකරලා තියෙන්නේ 1908 වර්ෂයේ ජුන්හෙඋන්ජෝ බොන් කියලා කොරියානු ස්වාමින්වහන්සේ නමක්. නමුත් ඊට කලින් ඉඳන් එම ස්ථානයේම කොරියානු කොන්ෆුසියස් ධර්මායතනයක් පැවති බවට සාක්ෂි තියෙනවලු. ඒ ඉතිහාසය ජේසෝන් අධිරාජ්‍ය සමය දක්වා දිවයන එකක්. කෙසේවෙතත් අවුරුදු 200ක් පමණ පැරණි මෙම පන්සල අදවනවිට ජෙජු දුපතේ ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්වෙලා. මෙමඟින් දුපත පුරා විසිරී  ඇති තවත් පන්සල් 30ක් පාලනය වෙනවා.
එදා පන්සල තිබු ආකාරය (http://www.jejugwaneumsa.or.kr)

අවසන් වශයෙන් කොරියානු බුදු දහම ගැනත් පොඩි හැඳින්වීමක් කරන්නම්කෝ. කොරියානු බුදු දහම සැකසිලා තියෙන්නේ මුලික වශයෙන් මහායාන ඉගැන්වීම් වලින්. කලින් සඳහන් කළ බුදුකුටියේ වෙනසම් වලටත් බලපෑම් ඇතිකරන්න ඇත්තේ ඒවා හේතුව ආමිස පුජාවන්ට මූලික තැනක් ලැබෙන හින්දා.  ඒවගේම සෙන් (Zen) දහමේ එන ඉගැන්වීම් ප්‍රමාණයකුත් කොරියානු බුදුදහම තුළ අන්තර්ගතයි. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 800 කට පස්සේ තමයි කොරියාවට බුදු දහම ලැබිලා තියෙන්නේ. ඒ වෙනකොට කොරියාවේ තිබිලා තියෙන්නේ ස්වභාවික වස්තූන්  වන්දනාවයි. බුදුදහම සහ පෙර පැවති ආගම අතර ගැටුමක් ඇතිවෙලා නෑ. ඒ වෙනුවට ඔවුන් බුදු දහමට පෙර ධර්මයේ විශ්වාස මුහු කරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට කඳු කියන්නේ බුදුන්ගේ පෙර භව වල නවාතැන් ගත් ස්ථාන ලෙස සැලකීම දක්වන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි දැනටත් පවතින පන්සල් කඳු ආශ්‍රිතව ගොඩනගලා තියෙන්නේ. ජපානයට යටත්ව පැවති කාලයේත් කොරියානු බුදු දහම යටපත්ව ගිහින් තිබිලා තියෙනවා. හේතුව යටත් භාවයෙන් මිදීම සඳහා කොරියානුවන් මෙහෙයවන්නට බෞද්ධ භික්ෂූන් මුලිකත්වය ගෙන කටයුතු කිරීමයි. පසු කාලීනව ජපානයෙන් නිදහස ලැබුවත් ඇමෙරිකානු ක්‍රිස්තියානි සභා වල බලපෑම මත කොරියානු බුදු දහම පිබිදීමකට ලක්වෙලා නෑ. වර්ෂ 2005 දී රජය මගින් සිදුකල සංගණනයකදී අනාවරණය වුයේ කොරියානුවන්ගෙන් හතරෙන් එකක්  බෞද්ධයන් බවයි. කෙසේ නමුත් කොරියානු ජීවිත පැවැත්ම හා බැඳී ඇති කාරණා රැසකට බුදු දහමේ අභාෂය ලැබිලා තියෙනවා.

කන්දේ පිහිටි රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව සිහින් මීදුම් පටලයකින් වැහෙන්න පටන් අරන් තිබ්බා. ගොම්මන් අඳුර හෙමින් හෙමින් ඇදෙන වෙලාවේ රක්ෂිතය අද්දර මුවන් කිහිප දෙනෙකුත් අපේ නෙත ගැටුණා. අවසන් වශයෙන් කුඩා ගල් කුහරයක තිබ්බ බුදු කුටියක හදුන්කූරු දල්වලා අපි ආපසු එන්න පිටත් වුණා.
අපි සෙට් එක

Monday, November 26, 2018

ජාන වෙනස් කිරීමක් සමඟින් බිහිවන ලොව පළමු දරු උපත





ලෝකයේ පළමුවැනි වතාවට ජානමය වශයෙන් සංස්කරණය කළ ළදරුවන් නිවුන් දරු උපතක් වශයෙන් මේ මාසයේ ( 2018, නොවැම්බර් මාසයේ) මෙලොවට බිහිවන බව චීන ජාතික පර්යේෂකයෙක් පවසයි. මිනිස් ජීනෝමය ලියැවී ඇති DNA අණුවේ ඒ ඒ ජානයට අදාල කොටස් කියවිය හැකි සහ සංස්කරණය කල හැකි නව ක්‍රමවේදයක් මේ සඳහා භාවිතා කල බව ඔහු පවසයි.
මෙය සත්‍යයක් නම් එය විද්‍යාව සහ ආචාර ධර්ම අතර හටගන්නා ප්‍රභල සංවාදයක් හෝ ගැටුමක් වනු නොඅනුමානයි.
මෙම ව්‍යාපෘතිය සඳහා දායකවූ ඇමරිකානු ජාතික විද්‍යාඥයෙක් පවසන්නේ, මෙවන් ජානමය වෙනස්කම් සහිත මිනිසුන් බිහි කිරීම ඇමෙරිකානු නීතියට අනුව තහනම් නිසා චීනයේ සිදුකළ මෙම පර්යේෂණය සඳහා දායක වූ බවයි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මෙවන් ක්‍රියා තහනමට ලක් කිරීමට ප්‍රධානතම හේතු වශයෙන් ඔහු දක්වන්නේ, කෘතිමව සිදුකරන ජානමය වෙනස්කම් ඉදිරි පරම්පරා වලට සම්ප්‍රේෂණය වීමේ ඇති හැකියාවත් සහ එවන් වෙනස්කම් අනෙකුත් ස්වභාවිකව පවතින ජාන වලට හානි සිදුකිරීමත්ය.
ජාන ඉංජිනේරු විද්‍යාව හා සම්බන්ධව පර්යේෂණවල නිරතවන බොහෝ විද්‍යාඥයින් පවසන්නේ මෙය ඉතා අනාරක්ෂිත ක්‍රියාවක් බවයි. ඒ අතර බොහෝ පාර්ශව චීනයේ පළවූ මෙම ප්‍රවෘතිය තරයේ හෙළාදැක ඇත.
පර්යේෂණ කටයුතු සිදුකර ඇත්තේ දකුණු චීනයේ ග්වන්ග්ඩොන් පළාතේ ෂෙන්සෙන් හි පිහිටා ඇති විද්‍යාගාරයක් තුළයි.


ප්‍රධාන චීන විද්‍යාඥ ජියන්කුයි

දරු ඵල අපේක්ෂාවෙන් පසුවූ යුවල් 7ක් සඳහා කළ සඵලතා ප්‍රතිකාර අතරතුර මෙම කළල වෙනස්කිරීම් සිදුකර ඇති අතර, සාර්ථක ප්‍රතිඵල වශයෙන් එක් ගර්භණි තත්වයක් හටගෙන තිබේ. පර්යේෂය්කයින්ගේ මුලික අරමුණ වී ඇත්තේ ප්‍රවේණිගත රෝග සුවකිරීම හෝ වලක්වා ගැනීම නොව, දැනට මිනිසුන් අතරින් ඉතා සුළු පිරිසකට උරුමව ඇති ඒඩ්ස් වයිරසයට ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාව වර්ධනය කර අනාගත අසාධන වලින් ආරක්ෂා කර ගැනීමයි. 

තවමත් මෙම පර්යේෂණ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති අතර, මේ පිලිබඳ මුලික හෙළිදරවුව කර ඇත්තේ අඟහරුවාදා (2018.11.27) හොංකොං  හි පැවැත්වෙන ජාන ඉංජිනේරු විද්‍යාව තේමාව කරගත් ජාත්‍යන්තර සමුළුවක් සඳහාවූ මුලික මාධ්‍ය සාකච්ඡාවකදීය.

මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් ප්‍රධාන පර්යේෂක මෙසේ පවසා ඇත. "මේ පර්යේෂණ ක්‍රියාවලිය පිලිබඳ මාහට ඉතා දැඩි වගකීම් සහගත බවක් දැනෙනවා. එයට හේතුව මෙය ලෝකයේ පළමු වරට කළ දෙයක් නිසා නොවේ. මෙය ඉදිරි පර්යේෂණ ක්‍රියාවන්ට හොඳ ආදර්ශයක් සහ උදාහරණයක් දිය යුතුව ඇතිනිසා. ඒ වගේම සමාජය විසින් තීරණය කරාවි මෙහි ඊළඟ පියවර කුමක්ද කියා. විශේෂයෙන් මේ සඳහා අවසර දෙනවද නැද්ද කියන කාරණය සම්බන්ධව".

මෙම පුවත ඇසු සමහර විද්‍යාඥයින් විශ්මයට පත්ව ඇති අතර එය තරයේ හෙලාදැක ඇත. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ජාන සංස්කරණය සම්බන්ධ විද්‍යාඥ සහ ජෙනටික්ස් ජර්නලයේ (Genetics) සංස්කාරක, අචාර්ය කිරාන් මුසුනුරු කියාසිටින්නේ  මෙය හෘදසාක්ෂියට එකඟ නොවන සහ සදාචාරාත්මක ක්‍රියාවක් නොවන බවයි.
කැලිෆෝර්නියාවේ Scripps Research Translational Institute හි ආචාර්ය එරික් ටොපොල්  "මෙය ඉතා අපරිණත ක්‍රියාවක්, අප මේ කටයුතු කරන්නේ මිනිස් වර්ගයාගේ මෙහෙයුම් කේත සමඟයි." යනුවෙන් මේ පිලිබඳ අදහස් දක්වා ඇත.
කෙසේ වෙතත්, එක් කීර්තිමත් ජාන විද්‍යාඥයෙකු වන හාර්වර්ඩ් විශ්ව විද්‍යායලයේ ආචාර්ය ජෝර්ජ් චර්ච්, මෙම පර්යේෂණ සඳහා සිය ප්‍රසාදය පළකර සිටින අතර එය අනාගතයේ මිනිසාට එරෙහිව නැගෙන ප්‍රධානතම සෞඛ්‍ය තර්ජනයට කදිම පිළිතුරක් වනු ඇති බව පවසයි.

මෑත වසරවලදී විද්‍යාඥයන් විසින් ජාන සැකසීමට සාපේක්ෂ වශයෙන් පහසු ක්‍රමයක් සොයාගෙන ඇත. CRISPR-cas9 නමින් හැඳින්වෙන මෙවලම, අවශ්‍ය  ජානයක් සැකසීමට හෝ අක්‍රමිකතා ඇති ජාන  අක්‍රිය කිරීමට යොදාගනී.  මෙම ක්‍රමය මාරාන්තික රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා වැඩිහිටියන්ට පමණක් මෑතදී යොදා ගෙන ඇති අතර එම වෙනස්කම් එම පුද්ගලයාට පමණක් සීමා වී ඇත. ශුක්‍රාණු, ඩිම්බ හෝ කළල වෙනස් කිරීම ඊට වඩා වෙනස් වන අතර නව ජානමය සංස්කරණ ඉදිරි පරම්පරාවලටද ගමන්කරයි.  චීනය මිනිස් ක්ලෝනකරණය  තහනම් කර ඇතත් ජාන සැකසීම් තවමත් තහනම් කර නොමැත. මෙම පර්යේෂණ ප්‍රතිපල සමඟින් මේ පිලිබඳ නීතිවේදීන්ගේ අවධානයද යොමුවනු ඇතැයි මත පලවී ඇත.

පර්යේෂණය සඳහා සහභාගීවූ සියලුම පිරිමින් HIV ආසාදිතයන් වූ අතර කාන්තාවන් සියල්ල නිරෝගී විය. ඒ වනවිටත් ඖෂධ භාවිතයෙන් පියවරුන්ගේ HIV අසාධන තත්වය සාර්ථකව මැඩපවත්වා තිබු අතර, එහෙත් දරුවාට එය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවයක් තිබුණි. මුලින්ම ශුක්‍රාණු හොඳින් සේදීමට ලක්කර HIV  වයිරසය පවතින ශුක්‍ර තරලය ඉවත්කර හරිනු ලැබේ. පසුව තනි ශුක්‍රාණුවක් ඩිම්බයක් හා සංසේචනය කරවයි. ඉන්පසු ජාන සංස්කරණ මෙවලම ඊට ඇතුල් කරයි. දින 3ත් 5ත් අතර වයස කළල වලින් සෛල කිහිපයක් ඉවත් කරන අතර ඒවා ජානමය වශයෙන් සංස්කරණය වී ඇතිද නැතිද යනවග පරීක්ෂා කර බලනු ලැබේ. ගර්භනී අවස්ථාවන් සඳහා සංස්කරණය කළ හෝ නොකළ ලද කළල භාවිතා කිරීමට දෙමාපියන්ට හැකි විය.  කළල 22 කින්  16 ක් සංස්කරණය කරන ලද අතර 11ක් අවස්ථා 6කදී ගර්භාෂ තුළ තැන්පත් කරන ලදී. අවසානයේ එක් ගර්භාෂයක් තුළ කළල 2ක් නිවුන් දරු උප්පත්තියකට සුදුසුකම් ලබා ඇත.

පර්යේෂකයන් පවසන අන්දමට සම්පුර්ණ පර්යේෂණ ක්‍රියාවලිය පිලිබඳ සහ එහි අවධානම පිලිබඳ මාපියන් දැනුවත් කර ඇති අතර, බිහිවන දරුවන්ගේ සෞඛ්‍ය ගැටළු සඳහා රක්ෂණාවරණයක් ලබාදී ඇත. අවුරුදු 18 වනතෙක් දරුවන් ක්‍රමික  වෛද්‍ය  පරීක්ෂණ වලට භාජනය කිරීමට නියමිත අතර, ඉන් පසුවත් ඔවුන්ගේ කැමැත්ත ඇතිව ඉදිරි පර්යේෂණ කටයුතු කිරීමට බලාපොරොත්තු වනු ලැබේ.

කෙසේ වෙතත් මෙම පර්යේෂණය අනාගත දශකය තුළ බොහෝ කතාබහට ලක්වීමට ඉඩ ඇති සහ තවදුරටත් දියුණු මට්ටමකට පැමිණීමට ඉඩකඩ ඇති ක්‍රියාවලියක් බව දැනටමත් ඉඟි පළකර ඇත. ඉතා ඉක්මණින් මාපියන් හට අවැසි පරිදි ජානමය වශයෙන් සංස්කරණය කළ පරිපුර්ණ දරුවන් ලොවට බිහිකරන තාක්‍ෂණය  අප ඉදිරියට පැමිණෙනු ඇත.

 First gene-edited babies claimed in China - KOREA TIMES ඇසුරින් අනුවර්තනයකි.