Tuesday, June 18, 2024

කිම්-පුටින් හමුව

 

පින්තූරය උතුරු කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සියෙනි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බදාදා (2024.06.19) ප්යොංයැංහිදී (උතුරු කොරියාවේ අගනුවර)  සාකච්ඡා ආරම්භ කළ බව රුසියානු පුවත් මාධ්‍ය වාර්තා කළේ ගැඹුරු වන මිලිටරි සහයෝගීතාව පිළිබඳ බටහිර සහ ඇමෙරිකානු ලෝකයේ  කනස්සල්ල මධ්‍යයේ ය.

රුසියානු ජනාධිපති  පුටින් ගේ මෙම දුර්ලභ සංචාරය දෙරටේ ගැඹුරු වන සම්බන්ධතාවය  සහ යුක්‍රේනයට එරෙහි යුද්ධය පවත්වා ගැනීම සඳහා  ප්‍යොංයැං වෙතින් ආයුධ ලබා ගැනීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරන බව CNN මාධ්‍ය වාර්තා කොට තිබිණි.

රුසියාවේ ස්පුට්නික් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, පුටින් සහ කිම් දෙපාර්ශ්වයේ නියෝජිතයින්  මධ්‍යම ප්යොංයැං හි කිම් ඉල් සුං චතුරශ්‍රයේ පැවති නිල පිළිගැනීමේ උත්සවයකින් අනතුරුව "සූර්යයාගේ කුම්සුසන් මාලිගයේ"දී ඔවුන්ගේ  සාකච්ඡා ආරම්භ කළහ. 

මෙම සමුළුවේදී නායකයන් දෙපළ සිය ද්විපාර්ශ්වික සබඳතා නව තලයකට ගෙන ඒමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. රුසියාවේ TASS ප්‍රවෘත්ති ඒජන්සිය අඟහරුවාදා වාර්තා කළේ, උතුරු කොරියාව සමඟ පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කිරීමට පුටින් නියෝග කළ බවයි.

මෙය 2000 ජුලි මාසයෙන් පසු පුටින්ගේ පළමු උතුරු කොරියාවේ සංචාරය වන අතර,  මීට ඉහතදී ඔහු වත්මන් නායකයාගේ දිවංගත පියා වන එවකට නායක කිම් ජොන්ග්-ඉල් හමුවිය. කිම් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පුටින් සමඟ සමුළුවක් සඳහා රුසියාවේ සංචාරයට ගොස් මාස නවයකට පසුව පුටින්ගේ මෙම උතුරු කොරියානු සංචාරය සිදුවේ.

විශ්ලේෂකයින්ට  අනුව, කිම් සහ පුටින් ඒකාබද්ධ ප්‍රකාශයක් සම්මත කර ගැනීමට අපේක්ෂා කරන අතර එය දෙපාර්ශ්වයම මිලිටරි, ආරක්ෂක සහ ආර්ථික සහයෝගීතාවයේ මට්ටම ඉහළ නැංවීමට අදාලව හැකි  නමුත් මිලිටරි සන්ධානයකට සමාන ගිවිසුමක් ඇති කර ගැනීමේ අඩු හැකියාවක් පවතින බව පෙන්වා දෙයි.

උතුරු කොරියාව සහ පැරණි සෝවියට් සංගමය 1961 දී මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය සහය පිළිබඳ ගිවිසුමක් අත්සන් කරන ලදී. ගිවිසුමට ඊනියා ස්වයංක්‍රීය මිලිටරි මැදිහත්වීමක් සඳහා ප්‍රතිපාදනයක් ඇතුළත් විය, ඒ යටතේ එක් පාර්ශ්වයක් සන්නද්ධ ප්‍රහාරයකට ලක්වුවහොත්, අනෙක් පාර්ශ්වයෙන් හමුදා භටයන් සහ වෙනත් ආධාර පැකිලීමකින් තොරව සැපයීමට එකඟ විය.

ඉන් පසුව, උතුරු කොරියාව සහ රුසියාව 2000 දී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ නව ගිවිසුමකට අත්සන් තැබූ නමුත් ආර්ථිකය, විද්‍යාව සහ සංස්කෘතිය තුළ සහයෝගීතාව කේන්ද්‍ර කර ගත් විධිවිධාන හැර අනෙකක් එහි අඩංගු නොවීය.

මෙම සමුළුවේදී උතුරු කොරියාව සිය ශ්‍රමිකයන්  රැකියා සඳහා රුසියාවට පිටත්කිරීම  සම්බන්ධයෙන් නායකයන් දෙදෙනාට සාකච්ඡා කළ හැකි බව විශේෂඥයෝ පවසති. ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් උතුරට විදේශ මුදල් ඉපයීමේ දැඩි  අවශ්‍යතාවයක් ඇති අතර රුසියාව යුක්රේනය සමඟ යුද්ධය මධ්‍යයේ ශ්‍රම හිඟයකට මුහුණ දී සිටී.

පසුගිය  මාසවල රුසියාවේ යුද ප්‍රයත්නයට සැලකිය යුතු මිලිටරි ආධාර සපයන බවට එක්සත් ජනපදය, දකුනු කොරියාව සහ අනෙකුත් රටවල් උතුරු කොරියාවට චෝදනා කර ඇති අතර, රුසියාව  දකුණු  කොරියාවේ  නව මිලිටරි චන්ද්‍රිකා වැඩසටහනේ සංවර්ධනයට ආධාර කිරීම සඳහා ජාත්‍යන්තර සම්බාධක උල්ලංඝනය කරනු ඇතැයි නිරීක්ෂකයින් කනස්සල්ල පළ කර තිබේ. රටවල් දෙකම උතුරු කොරියානු ආයුධ අපනයනය කල බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත් කොරියානු අර්ධද්වීපයේ ආරක්ෂාව, පිලිබඳ චීනය සහ ජපානය දැඩි අවධානයකින් පසුවන  අතර කලාපීය භූ දේශපාලනයේ වෙනස්වීම් පිලිබඳ උනන්දු වන සැමට කිම් සහ පුටින්ගේ මෙම හමුව අතිශයින් වැදගත් වනු ඇත.

No comments:

Post a Comment