මීට කලකට ඉහත මා විසින් ලංකාවේ පළවන වාර්ෂික සඟරාවකට ලියු ලිපියකි. අවාසනාවකට ඔවුන් අතින් මෙය පළ නොවූ අතර මෙහි කියැවෙන දෑ පාඨකයාට රුචි නොවේයැයි හැඟෙන්නට ඇත (මුලින් ඉංග්‍රීසි බසින් ලියු ලිපිය සිංහලට පරිවර්තනය කළයුතුයැයි ඔවුන් මා වෙත දැනුම් දුනි). බ්ලොග් පාඨකයන් වන ඔබට මෙය කෙසේ රුචි වේ දැයි නොදනිමි. නමුත් ලංකාවේ අනාගතය ගැන අබමල් රේණුවක් තරම් හෝ සිතන්නෙක්ට මෙය වැදගත් වේයැයි සිතමි.
අවුරුදු
දහස් ගණනකට පෙර සිටම මිනිසා සාගරයේ පවතින ජීවී
සහ අජීවී සම්පත් ප්‍රයෝජනයට ගනී. ඊට අමතරව සාගරය ප්‍රවාහන මාධයයක් සහ විනෝදාස්වාදය සපයන ස්ථානයක්
ලෙස වර්තමාන ලෝකයේද විශාල කර්යභාර්යයක් ඉටුකරයි. ඍජු හා වක්‍ර ලෙස
ගෝලීය දේශගුණය කෙරෙහි සාගරයේ මැදිහත් වීම අතිමහත්ය. වසරකට එය වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ්
(වැඩි ප්‍රමාණයක්
මිනිස් ක්‍රියාකාරකම්
නිසා නිපදවේ) ටොන් ගණනක් අවශෝෂණය කර මිහිමත ජීවයේ පැවැත්මට සහය වෙයි. ඒවගේම මිහිමත
සියලු සතුන්ගේ ආශ්වාසයට අවශ්‍ය ඔක්සිජන් වායුවෙන් අඩක්
නිපදවයි. ඉහත දැක්වූ ප්‍රධාන
කරුණු හා තවත් කාරණා රැසක් නිසා සාගරය ආර්ථික සහ පාරසරික වශයෙන් වටිනා සම්පතක් ලෙස
හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකාව
ඉන්දියානු සාගරයේ කේන්ද්‍රගත දුපතක් වීම තුළ දිවයින මෙන් හත් ගුණයක සාගර කලාපයකට
උරුමකම් කීමට හැකියාව ලැබී ඇත. නමුත් අප විශාල සාගර කලාපයක අයිතිකරුවන් වූ පමණින් එහි
උපරිම ඵල අත්පත්කරගෙන තිබේද? පසුගිය දශක කිහිපය පිලිබඳ විමසා බලන විට මේ පිලිබඳ විවිධ
මත පලවී ඇති අතර දේශපාලනික, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන බොහොමයක් තවමත් ප්‍රයෝජනයට නොගත් සම්පත් ප්‍රශස්ත හා තිරසාර ලෙස භාවිතයට ක්‍රමෝපායන් හා කෙටුම්පත් සකස් කරමින් සිටී. හරිත විප්ලවය
(Green revolution - සීඝ්‍ර කෘෂිකාර්මික
සංවර්ධනය) පරයමින් නීල විප්ලවයක් (Blue revolution - ජලජ සම්පත් මත වූ
සීඝ්‍ර
සංවර්ධනය)
පිළිබඳව වූ බලාපොරොත්තු සාගර සම්පත් කෙරෙහි වැඩි නැඹුරුතාවයක් ඇතිකිරීමට හේතු වී ඇත.
මෙතෙක් සකස්කර ඇති සැලසුම් පදනම් වී ඇත්තේ මූලික
වශයෙන් මත්‍ස්‍ය සම්පත්, ඛනිජ සම්පත් හා සංචාරක කර්මාන්තය සංවර්ධනය
කිරීමට වේ. එම සම්පත් රටට ඉතා වැදගත් වන අතර දැනටමත් ශ්‍රී ලංකාව්
ආර්ථිකයෙන් සැලකිය යුතු කොටසක් නියෝජනය කරයි. නමුත් මෙම ලිපියේ අරමුණ තවම විධිමත් අවධානයක් යොමු නොවූ සහ අනාගතයේ විශාල ආර්ථික
වාසි ලබාගත හැකි
සාගර සම්පත් විශේෂයක් වන සමුද්‍රීය ජෛව ක්‍රියාකාරී සංයෝග (Marine
bioactive compounds) පිලිබඳ යම් අදහසක් පාඨකයාට ගෙනඒමයි.
ජෛව ක්‍රියාකාරී සංයෝග සහ ඒවායේ කෘත්‍යයන්
ජීවීන්,
පටක, හෝ සෛල තුල පවතින විවිධ උපස්තර මත සුවිශේෂී අන්දමින් ක්‍රියාකරන (substrate specific) රසායනික සංයෝග
ජෛව ක්‍රියාකාරී
සංයෝග ලෙස සරලව හඳුනාගත හැක. ඒ ඒ සංයෝග රසායනික ව්‍යුහය අනුව වෙනස්වන අතර එන්සයිම, වර්ණක,
ප්‍රතිඔක්සිකාරක,
මේද අම්ල, පොලිසැකරයිඩ සහ ෆීනොලික සංයෝග ඒවායින් ප්‍රධාන වේ. ඉහත සංයෝග ඒවායේ කාර්යභාරය
අනුව වර්ගීකරණය කළ හැක. ඖෂධ (ප්‍රතිජීවක, ප්‍රති පිලිකා
කාරක, ප්‍රති
ප්‍රදාහමය සහ වයස්ගතවීම පමා කරන සංයෝග ආදිය) රූපලාවන්‍ය විලේපන, පෝෂණ අතිරේක,
ජෛව පිළියම් (bio-remedies) සඳහා
භාවිත කරන සංයෝග සහ ප්‍රති
සන්චයනික
සංයෝග (Antifaulings - ක්ෂුද්‍ර ජීවීන්, ශාක, ඇල්ගී හා
සත්ව විශේෂ තෙත් වූ පෘෂ්ඨ මත බැඳීම වලක්වන සංයෝග) ලෙස ඒවා දැක්විය හැක.
රූප සටහන 01: සෞඛ්‍යමය
හා ආර්ථික වටිනාකමක් ඇති ප්‍රති
දිලීර (Anti-fungal)
සංයෝග නිපදවන සමුද්‍ර
ජීවීන් කිහිපයක්. (උපුටා ගැනීම:
Algix.com,
2017)
ජෛව ක්‍රියාකාරී සංයෝගවල අවශ්‍යතාවය
නව
ඖෂධ සෙවීමේ ක්‍රියාවලියේදී
බහුවිධ ඖෂධ සඳහා ප්‍රතිරෝධී
වූ ක්ෂුද්‍රජීවී
වයාධිජනකයින්ට (multidrug-resistant microbial
pathogens) එරෙහි සංයෝගවල දැඩි අවශයයතාවයක් පවතී. ගෝලීයකරණ ක්‍රියාවලිය ප්‍රතිරෝධී ක්ෂුද්‍රජීවී විශේෂ ලොව පුරා සංසරණය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත. තවද වයස්ගතවීම,
ප්‍රතිශක්තීකරණ
දුර්වලතා සහ සංකීර්ණ ශල්‍යකර්ම හේතුවෙන් මිනිසා වැඩි
වේගයෙන් ආසාදන වලට ගොදුරුවීමේ අවදානමක් පවතී. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ රෝගවලට ගොදුරු වීමේ හැකියාව
ඉහල යාම, මර්ත්‍යතාව හා සෞඛ්‍ය
පහසුකම් සඳහා වන අධික වියදමයි. ඉහත කරැණු විමසා බලන විට නව ඖෂධ සහ ජෛව ක්‍රියාකාරී සංයෝග වල අවශ්‍යතාවය හොඳින් පැහැදිලි වේ. කෙසේ වුවත් අනාගතයේදී ඇතිවිය හැකි ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවී රෝග සහ පිළිකා වැනි බෝ නොවන රෝග
සඳහාද නව ව්‍යුහමය ස්වභාවික රසායනික සංයෝග (structurally novel chemical compounds)
ඉතා වැදගත් වේ. ඒවගේම ඒවා ආශ්‍රිත නිෂ්පාදන හා කර්මාන්ත
එක් එක් රටවල ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් නියෝජනය කරනු ඇත.
ජෛව ක්‍රියාකාරී සංයෝග සඳහා ප්‍රභවයක්
ලෙස සාගරයේ වැදගත්කම
පසුගිය
දශක දෙකක කාලය තුළ මුහුදු පැළෑටි සහ සත්ව විශේෂ ගණනාවක් සමීක්ෂණයට ලක් කිරීමෙන් ඔවුන්
සතු මිනිසාගේ පැවැත්මට වැදගත් නව ව්‍යුහාත්මක රසායනික
සංයෝග විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත. බොහෝවිට
ඒවා එම ජීවීන්ගේ ද්විතීක පරිවෘතිමය ශ්‍රාවයන් (secondary metabolites)
වේ. එනම් සෛල තුල පරිවෘතීය ක්‍රියා සිදුවන විට නිපදවන, ඍජුව වර්ධනය හෝ ප්‍රජනනය සඳහා බල නොපාන කාබනික සංයෝග වේ.
මීට දශක කිහිපයකට පෙර ඒවායින් එම ජීවීන්ගේ
පැවැත්මට කිසිඳු ප්‍රයෝජනයක්
නොමැති යැයි සැලකුවද පසුකාලීනව කළ පරීක්ෂණ වලදී ඒවා උක්ත ජීවීන් හට තම වාසස්ථානය තුළ
පැවැත්ම තහවුරු කරගැනීමට උපකාරීවන බවට නිගමනය විය. එනම් ඔවුන් විසින් නිපදවන බොහෝ ද්විතීක
පරිවෘතීය සංඝටක ඔවුන් ජීවත් වන පරිසරය නිසා හටගන්නා බවයි. සාගර ජීවීන් සඳහා සලකා බලන කළ එය ඍජුව සාගර පරිසර පද්ධති විවිධත්වය මත රඳාපවතින
අතර විවධ කටුක පරිසර වල ජීවත්වන ජීවීන්ගේ මෙම සංඝටක විවිධත්වයද අධික වේ.
නිවර්තන
කලාපීය රටක් ලෙස ශ්‍රී
ලංකාව
අවට මුහුදු ප්‍රදේශය කඩොලාන බිම්, කරදිය වගුරු බිම්,
පාෂාණමය හා වැලි සහිත වෙරල තීර, කලපු, මෝය, කොරල්පර , මුහුදු තෘණ බිම්, මුහුදු ඇල්ගී බිම් සහ ක්‍රමයෙන් ගැඹුර වැඩිවෙමින් යන විවෘත සාගර
කලාපයකින් සමන්විත වේ. මෙම පරිසර පද්ධති විවිධත්වය එහි ජෛව විවිධත්වය කෙරෙහි ඍජුව බලපා
ඇත. එම විවිධත්වය නව ව්‍යුහාත්මක විවිධත්වයකින් යුත්
ජෛව ක්‍රියාකාරී
සංයෝග නිපද වීමට ශ්‍රී ලංකාවේ
සාගරය සතු ශක්‍යතාව විදහා දක්වයි.
රූප සටහන 02:
දියුණු තාක්ෂණික ක්‍රමවේදයන්ගේ
සංකලනයෙන් සමුද්‍රික
සම්පත් මගින් ඖෂධ නිපදවීම පිලිබඳ දල සටහනක් (උපුටා
ගැනීම: Montaser and
Luesch, 2011)
දැණුම හුවමාරුව සහ යටිතල පහසුකම්
ලෝකයේ
වෙනත් රටවල් බොහොමයක් නොපෙනෙන සාගර සම්පත් පිලිබඳ ගවේෂණය සහ පර්යේෂණ පැවැත්වීම ආරම්භකර
තිබේ. ඊට හොඳම උදාහරණය අපගේ සමීපතම රට වන ඉන්දියාවයි. සමුද්‍රික ජෛව ක්‍රියාකාරී සංයෝග මත පදනම් වූ ශක්තිමත් ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයක් ඔවුන් සතුවන අතර ඒ පිලිබඳ වූ පර්යේෂණ
ලිපි සිය ගණනක් වසරකට එළිදක්වයි. මුලික පියවර විය යුත්තේ මෙම ක්ෂේත්‍රය පිලිබඳ දැනුම වැඩිදියුණු කිරීම සඳහා
කටයුතු කිරීමයි. සමුද්‍රීය
ස්වභාවික සම්පත් ආශ්‍රිත
පර්යේෂණ සහ සංවර්ධන කටයුතු තවදුරටත් නංවාලිය යුතු අතර එම ක්‍රියාවලිය තුළ විශ්ව විද්‍යාල, අනෙකුත් පර්යේෂණ ආයතන හා
උසස් අධ්‍යාපන ආයතනවල විද්වතුන්හට සුවිශේෂී කාර්යභාර්යයක් පැවරී ඇත. ක්ෂේත්‍රය පිලිබඳ විදේශ පුහුණුව සහ උසස් අධ්‍යාපන
අවස්ථා වඩා වැදගත්වනු ඇත. එසේම ලබාගත් දැණුම
උක්ත සම්පත් දායකයින් විසින් රටට නැවත ලබාදීමට කටයුතු කිරීමද අතිශයින් වැදගත් වේ. ක්ෂුද්‍රජීව
විද්‍යාවට (Microbiology) හා ජෛවතාක්ෂණයට (Biotechnology)
අදාල යටිතල පහසුකම් වැඩි වශයෙන් අවශ්‍ය වන අතර අදාල පර්යේෂණ උපකරණ සහ හොදින් පුහුණු වූ තාක්ෂණික
නිලධාරීන් පර්යේෂණ සංවර්ධන කටයුතු සඳහා මනා පිටිවහලක් වනු ඇත.
අරමුණු සාක්ෂාත් කර ගැනීම
අධ්‍යාපන,
පර්යේෂණ සහ සංවර්ධනයට අදාල රාජ්‍ය ආයතන, සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ සමුද්‍රිය කටයුතු පිලිබඳ ආයතන ආදියේ සහය වැදගත්වනු ඇත. සැඟවී ඇති සාගර සම්පත් ගවේෂණය
කිරීමේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ආයතන අතර මනා අන්තර් සම්බන්ධතාවයකින් යුත් කාර්යය
සැලැස්මක් අවශ්‍ය වේ. කාර්යක්‍ෂම අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක පර්යේෂණ ව්‍යාපෘති
ඉලක්ක සැබෑ කරනු ඇත.
References:
- Algix.com. (2017). Natural Products from Marine Organisms: ALGIX | Algae Bioplastics. [online] Available at: http://algix.com/natural-products-from-marine-organisms/ [Accessed 19 Jan. 2017].
- Geomar.de. (2017). Marine Microbial Resources « Research Topics « Marine Microbiology « Marine Ecology « Research « GEOMAR - Helmholtz Centre for Ocean Research Kiel. [online] Available at: http://www.geomar.de/en/research/fb3/fb3-mi/research-topics/marine-microbial-resources/ [Accessed 17 Jan. 2017].
- Hettiarachchi, S. (2016). Climate change and coastal aquaculture in Sri Lanka. 1st ed. [ebook] Colombo: Marine Environment Protection Authority, pp.13-21. Available at: https://www.researchgate.net/publication/308265852_Climate_Change_and_Coastal_Aquaculture_in_Sri_Lanka [Accessed 19 Jan. 2017].
- Jensen, P. and Fenical, W. (1996). Marine bacterial diversity as a resource for novel microbial products. Journal of Industrial Microbiology & Biotechnology, 17(5-6), pp.346-351.
- Monciardini, P., Iorio, M., Maffioli, S., Sosio, M. and Donadio, S. (2014). Discovering new bioactive molecules from microbial sources. Microbial Biotechnology, 7(3), pp.209-220.
- Montaser, R. and Luesch, H. (2011). Marine natural products: a new wave of drugs? Future Medicinal Chemistry, 3(12), pp.1475-1489.
මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeleteබොහොම ස්තුතියි...මාත් එන්නම්කෝ ඒ පැත්තේ .....
Delete