Monday, November 26, 2018

ජාන වෙනස් කිරීමක් සමඟින් බිහිවන ලොව පළමු දරු උපත





ලෝකයේ පළමුවැනි වතාවට ජානමය වශයෙන් සංස්කරණය කළ ළදරුවන් නිවුන් දරු උපතක් වශයෙන් මේ මාසයේ ( 2018, නොවැම්බර් මාසයේ) මෙලොවට බිහිවන බව චීන ජාතික පර්යේෂකයෙක් පවසයි. මිනිස් ජීනෝමය ලියැවී ඇති DNA අණුවේ ඒ ඒ ජානයට අදාල කොටස් කියවිය හැකි සහ සංස්කරණය කල හැකි නව ක්‍රමවේදයක් මේ සඳහා භාවිතා කල බව ඔහු පවසයි.
මෙය සත්‍යයක් නම් එය විද්‍යාව සහ ආචාර ධර්ම අතර හටගන්නා ප්‍රභල සංවාදයක් හෝ ගැටුමක් වනු නොඅනුමානයි.
මෙම ව්‍යාපෘතිය සඳහා දායකවූ ඇමරිකානු ජාතික විද්‍යාඥයෙක් පවසන්නේ, මෙවන් ජානමය වෙනස්කම් සහිත මිනිසුන් බිහි කිරීම ඇමෙරිකානු නීතියට අනුව තහනම් නිසා චීනයේ සිදුකළ මෙම පර්යේෂණය සඳහා දායක වූ බවයි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මෙවන් ක්‍රියා තහනමට ලක් කිරීමට ප්‍රධානතම හේතු වශයෙන් ඔහු දක්වන්නේ, කෘතිමව සිදුකරන ජානමය වෙනස්කම් ඉදිරි පරම්පරා වලට සම්ප්‍රේෂණය වීමේ ඇති හැකියාවත් සහ එවන් වෙනස්කම් අනෙකුත් ස්වභාවිකව පවතින ජාන වලට හානි සිදුකිරීමත්ය.
ජාන ඉංජිනේරු විද්‍යාව හා සම්බන්ධව පර්යේෂණවල නිරතවන බොහෝ විද්‍යාඥයින් පවසන්නේ මෙය ඉතා අනාරක්ෂිත ක්‍රියාවක් බවයි. ඒ අතර බොහෝ පාර්ශව චීනයේ පළවූ මෙම ප්‍රවෘතිය තරයේ හෙළාදැක ඇත.
පර්යේෂණ කටයුතු සිදුකර ඇත්තේ දකුණු චීනයේ ග්වන්ග්ඩොන් පළාතේ ෂෙන්සෙන් හි පිහිටා ඇති විද්‍යාගාරයක් තුළයි.


ප්‍රධාන චීන විද්‍යාඥ ජියන්කුයි

දරු ඵල අපේක්ෂාවෙන් පසුවූ යුවල් 7ක් සඳහා කළ සඵලතා ප්‍රතිකාර අතරතුර මෙම කළල වෙනස්කිරීම් සිදුකර ඇති අතර, සාර්ථක ප්‍රතිඵල වශයෙන් එක් ගර්භණි තත්වයක් හටගෙන තිබේ. පර්යේෂය්කයින්ගේ මුලික අරමුණ වී ඇත්තේ ප්‍රවේණිගත රෝග සුවකිරීම හෝ වලක්වා ගැනීම නොව, දැනට මිනිසුන් අතරින් ඉතා සුළු පිරිසකට උරුමව ඇති ඒඩ්ස් වයිරසයට ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාව වර්ධනය කර අනාගත අසාධන වලින් ආරක්ෂා කර ගැනීමයි. 

තවමත් මෙම පර්යේෂණ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති අතර, මේ පිලිබඳ මුලික හෙළිදරවුව කර ඇත්තේ අඟහරුවාදා (2018.11.27) හොංකොං  හි පැවැත්වෙන ජාන ඉංජිනේරු විද්‍යාව තේමාව කරගත් ජාත්‍යන්තර සමුළුවක් සඳහාවූ මුලික මාධ්‍ය සාකච්ඡාවකදීය.

මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් ප්‍රධාන පර්යේෂක මෙසේ පවසා ඇත. "මේ පර්යේෂණ ක්‍රියාවලිය පිලිබඳ මාහට ඉතා දැඩි වගකීම් සහගත බවක් දැනෙනවා. එයට හේතුව මෙය ලෝකයේ පළමු වරට කළ දෙයක් නිසා නොවේ. මෙය ඉදිරි පර්යේෂණ ක්‍රියාවන්ට හොඳ ආදර්ශයක් සහ උදාහරණයක් දිය යුතුව ඇතිනිසා. ඒ වගේම සමාජය විසින් තීරණය කරාවි මෙහි ඊළඟ පියවර කුමක්ද කියා. විශේෂයෙන් මේ සඳහා අවසර දෙනවද නැද්ද කියන කාරණය සම්බන්ධව".

මෙම පුවත ඇසු සමහර විද්‍යාඥයින් විශ්මයට පත්ව ඇති අතර එය තරයේ හෙලාදැක ඇත. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ජාන සංස්කරණය සම්බන්ධ විද්‍යාඥ සහ ජෙනටික්ස් ජර්නලයේ (Genetics) සංස්කාරක, අචාර්ය කිරාන් මුසුනුරු කියාසිටින්නේ  මෙය හෘදසාක්ෂියට එකඟ නොවන සහ සදාචාරාත්මක ක්‍රියාවක් නොවන බවයි.
කැලිෆෝර්නියාවේ Scripps Research Translational Institute හි ආචාර්ය එරික් ටොපොල්  "මෙය ඉතා අපරිණත ක්‍රියාවක්, අප මේ කටයුතු කරන්නේ මිනිස් වර්ගයාගේ මෙහෙයුම් කේත සමඟයි." යනුවෙන් මේ පිලිබඳ අදහස් දක්වා ඇත.
කෙසේ වෙතත්, එක් කීර්තිමත් ජාන විද්‍යාඥයෙකු වන හාර්වර්ඩ් විශ්ව විද්‍යායලයේ ආචාර්ය ජෝර්ජ් චර්ච්, මෙම පර්යේෂණ සඳහා සිය ප්‍රසාදය පළකර සිටින අතර එය අනාගතයේ මිනිසාට එරෙහිව නැගෙන ප්‍රධානතම සෞඛ්‍ය තර්ජනයට කදිම පිළිතුරක් වනු ඇති බව පවසයි.

මෑත වසරවලදී විද්‍යාඥයන් විසින් ජාන සැකසීමට සාපේක්ෂ වශයෙන් පහසු ක්‍රමයක් සොයාගෙන ඇත. CRISPR-cas9 නමින් හැඳින්වෙන මෙවලම, අවශ්‍ය  ජානයක් සැකසීමට හෝ අක්‍රමිකතා ඇති ජාන  අක්‍රිය කිරීමට යොදාගනී.  මෙම ක්‍රමය මාරාන්තික රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා වැඩිහිටියන්ට පමණක් මෑතදී යොදා ගෙන ඇති අතර එම වෙනස්කම් එම පුද්ගලයාට පමණක් සීමා වී ඇත. ශුක්‍රාණු, ඩිම්බ හෝ කළල වෙනස් කිරීම ඊට වඩා වෙනස් වන අතර නව ජානමය සංස්කරණ ඉදිරි පරම්පරාවලටද ගමන්කරයි.  චීනය මිනිස් ක්ලෝනකරණය  තහනම් කර ඇතත් ජාන සැකසීම් තවමත් තහනම් කර නොමැත. මෙම පර්යේෂණ ප්‍රතිපල සමඟින් මේ පිලිබඳ නීතිවේදීන්ගේ අවධානයද යොමුවනු ඇතැයි මත පලවී ඇත.

පර්යේෂණය සඳහා සහභාගීවූ සියලුම පිරිමින් HIV ආසාදිතයන් වූ අතර කාන්තාවන් සියල්ල නිරෝගී විය. ඒ වනවිටත් ඖෂධ භාවිතයෙන් පියවරුන්ගේ HIV අසාධන තත්වය සාර්ථකව මැඩපවත්වා තිබු අතර, එහෙත් දරුවාට එය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවයක් තිබුණි. මුලින්ම ශුක්‍රාණු හොඳින් සේදීමට ලක්කර HIV  වයිරසය පවතින ශුක්‍ර තරලය ඉවත්කර හරිනු ලැබේ. පසුව තනි ශුක්‍රාණුවක් ඩිම්බයක් හා සංසේචනය කරවයි. ඉන්පසු ජාන සංස්කරණ මෙවලම ඊට ඇතුල් කරයි. දින 3ත් 5ත් අතර වයස කළල වලින් සෛල කිහිපයක් ඉවත් කරන අතර ඒවා ජානමය වශයෙන් සංස්කරණය වී ඇතිද නැතිද යනවග පරීක්ෂා කර බලනු ලැබේ. ගර්භනී අවස්ථාවන් සඳහා සංස්කරණය කළ හෝ නොකළ ලද කළල භාවිතා කිරීමට දෙමාපියන්ට හැකි විය.  කළල 22 කින්  16 ක් සංස්කරණය කරන ලද අතර 11ක් අවස්ථා 6කදී ගර්භාෂ තුළ තැන්පත් කරන ලදී. අවසානයේ එක් ගර්භාෂයක් තුළ කළල 2ක් නිවුන් දරු උප්පත්තියකට සුදුසුකම් ලබා ඇත.

පර්යේෂකයන් පවසන අන්දමට සම්පුර්ණ පර්යේෂණ ක්‍රියාවලිය පිලිබඳ සහ එහි අවධානම පිලිබඳ මාපියන් දැනුවත් කර ඇති අතර, බිහිවන දරුවන්ගේ සෞඛ්‍ය ගැටළු සඳහා රක්ෂණාවරණයක් ලබාදී ඇත. අවුරුදු 18 වනතෙක් දරුවන් ක්‍රමික  වෛද්‍ය  පරීක්ෂණ වලට භාජනය කිරීමට නියමිත අතර, ඉන් පසුවත් ඔවුන්ගේ කැමැත්ත ඇතිව ඉදිරි පර්යේෂණ කටයුතු කිරීමට බලාපොරොත්තු වනු ලැබේ.

කෙසේ වෙතත් මෙම පර්යේෂණය අනාගත දශකය තුළ බොහෝ කතාබහට ලක්වීමට ඉඩ ඇති සහ තවදුරටත් දියුණු මට්ටමකට පැමිණීමට ඉඩකඩ ඇති ක්‍රියාවලියක් බව දැනටමත් ඉඟි පළකර ඇත. ඉතා ඉක්මණින් මාපියන් හට අවැසි පරිදි ජානමය වශයෙන් සංස්කරණය කළ පරිපුර්ණ දරුවන් ලොවට බිහිකරන තාක්‍ෂණය  අප ඉදිරියට පැමිණෙනු ඇත.

 First gene-edited babies claimed in China - KOREA TIMES ඇසුරින් අනුවර්තනයකි.

3 comments:

  1. අති භයානක පුවතක්.
    ලෝකයේ මිනිසුන් තුල ඇති අසීමිත තරඟකාරීත්වය මතින් මේ නව සොයා ගැනීම ඔස්සේ ශාරීරිකව අති ප්‍රභල මිනිසුන් ගොඩනැගීමෙන් එයම ලෝකයට විනාශයක් වේවිදෝ සැක සිතීම සාධාරණයි.
    මේ ජාන වලින්ම මිනිසුන්ගේ සිතුවිලි වෙනස් කල හැකිදැයි තවම ලෝකය දන්නේ නැහැ. ඉතින් සිතුවිලි දියුනු නොවූ ශාරීරිකව ස්වභාවික තත්වය ඉක්මවා දියුනු වූ මිනිසෙකු කියන්නේ අති විනාශකාරී අවියක් බවයි මටනම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම මෙහි අවධානම තේරුම් අරන් වගේ.....ඇත්තටම ලෝකයේ දැනටමත් ජාන විකෘතිතා සහිතව උපන් පුද්ගලයන්ගේ ගති ලක්ෂණ සලකා බැලු කල මනසට ඇතිවී තිබෙන බලපෑමට වඩා ශරීරයේ නව ලක්ෂණ පහල වීම ප්‍රමුඛ වී තිබෙනවා. ඒවා වාසිදායක හෝ අවාසිදායක ජාන විකෘති වියහැකියි. බොහෝදුරට මෙවන් සැලසුම්සහගත ජානමය සංස්කරණ තුලින් සිදුවෙන්නෙත් එවන් ශාරීරිකව වාසිදායක ලක්ෂණ පමණක් මතුකිරීමයි. නැතහොත් පවතින අවාසිදායක ලක්ෂණ ඉවත් කිරීමයි. බොහෝදුරට අනාගතේ ඔබ සඳහන් කරන ඒ ඔලුවක් නැති සුපිරි මිනිසුන් බිහිවීමේ සම්භාවිතාවයක් පවතීවි.

      Delete
  2. නුතන තාක්ෂණය සුබ වගේම අසුබ වෙන්නත් තියන ඉඩ වැඩියි නේද

    ReplyDelete