මේක කලින් ලියමින් හිටිය පෝස්ට් එකක්. ඒත් ඉවර කරේ 2018 ත් අන්තිමට.
2016 චුසොක් නිවාඩුවේ පළවෙනි දවසේ ජේජු ලව් ලෑන්ඩ් එකයි තව ආර්ට් ගැලරි දෙකකුත් බලලා රෑට ජිම්ජිල් එකේ නැවතුණා. පහුවදා උදේ 7ට නැගිටලා ලෑස්තිවෙලා කඳු නැගීම ආරම්භ කරන තැනට යන්න පිටත් වුණා. කලිනුත් කියපු විදිහට රෝයි ඔක්කොම් ප්ලෑන් කරලා තිබ්බේ. බඩගින්නේ කඳු නගින්න බැරි හින්දා උදේට හොඳට කන්න ඕනේ කියල අපි තීරණය කරා.
කනවා කියල ඉතින් මහලොකුවට වියදම් කරන්නත් බෑනේ. ලාබෙට කන්න තියන හොඳම විසඳුම CU(see you), GS25 වගේ කඩ වලින් කන එක තමා. CU ,GS25 , Seven Eleven කියන්නේ හදිස්සියට ඕන දේවල් ගන්න හැම තැනම වගේ තියන ජාල ගත වෙළඳසැල් සමුහයක්. සුපර් මාර්කට් වගේ පෙනුමක් තමයි මේවගේ තියෙන්නේ. මේවගේ කන බොන දේවල්, එදිනෙදා ඕන කරන දේවල් ගන්න පුළුවන්. නුඩ්ල්ස් කනවනම් උණුවතුර, බර්ගර් වගේ දේවල් රත්කරගන්න microwave එහෙමත් මේවගේ තියෙනවා. අපි නිතරම කන්නේ ඒවගේ තියන සම්පුර්ණ කම වේලක් තියන ලන්ච් පැක් එක. එක කවම බඩත් පිරෙනවා...අනික ලාබයි. රුපියල් වලින් නම් 400ක් විතර. ඇතුලේ ඉඳන් කන්නත් පහසුකම් හදලා තියෙන්නේ. සමහර තැන් වල නම් එළියේ හට් හගල, බංකු එහෙම දාලත් හදල තියෙනෙවා. ගොඩක් ට්‍රැවල් කරන්න එන අය මේවගෙන් තමා කන්නේ. විශේෂ කෑමක් කන්න ඕනේ උනොත් හරි, තවත් කාත් එක්ක හරි කනවනම් හරි ඉතින් රෙස්ටුරන්ට් එකකට යනවා. වැදගත්ම දේ තමයි ගම් නගර කියල වෙනසක් නෑ , හැම තැනම මේ කඩ ව්‍යාප්තවෙලා තියෙන එක. මට දැනුන විදිහට ඒ වගේ දේවල් හින්ද ගොඩක් දුරට සමාජ සමානාත්මතාවයක් ඇතිවෙලා තියෙනෙවා. හැම කෙනෙක්ටම සමාන තෝරාගැනීමක්, මිලදීගනීමක් කරන්න ඒක උදවු වෙනවා කියල හිතෙනවා.
ඇත්තටම කිව්වොත් මේ කන්ද ලංකාවේ එහෙම අපි දකින කඳු වලින් ටිකක් වෙනස්. මේක ගිනි කන්දක්. හැබැයි බයවෙන්න දෙයක් නෑ. දැන් අක්‍රියයි. පෘථිවි භූ ගර්භයේ ඉඳන් එලියට ආපු ලාවා ගල් වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. උසින් මීටර් 1950 ක් වෙනවා. ඔන්න ඉතින් තවත් දයක් මතක් වුණා. මේ සංචාරයෙන් පස්සේ ජේජු වලම තිබ්බ සම්මන්ත්‍රණයකදී මට හම්බුණා නේපාල ජාතික ශිෂ්‍යයෙක්. ලංකාවේ වගේම මුහුණුවර හින්ද මං ගිහින් කතාකරා. ටික වෙලාවකින් එයා ඇහුව චුසොක් නිවාඩුවට මොකද කරේ කියලා. මං කිව්වා කොරියාවේ උසම කන්ද නැග්ග කියලා. එත් එක්කම මිනිහ ඇහුවා උස කීයද කියලා. මං කිව්වා මීටර් 2000ක් විතර කියලා. එයා හිනාවෙලා කිව්වා, අපේ ගෙදර තියෙන්නේ මීටර් 4000 කටත් වඩා උඩින් කියලා. මට කරගන්න දෙයක් නෑ . ලංකාවෙත් මීට වඩා උස ඒවා තියනවා කියලා ශේප් වුණා.
මේ කන්ද අවට විතරක් නෙවේ ජේජු දුපතේ හැමතැනම ලාවා ගල් දකින්න පුළුවන්. මුහුදු වෙරළේ පවා. පහසුවෙන් හොයාගන්න පුළුවන් හින්දම මෙහෙ ගෙවල් වටේට තාප්ප හදල තියෙන්නේ ඒ ගල් එකමත එක තියලා. සිමෙන්ති පාවිච්චි නොකර. ඒ වැඩේට මෙහෙ අය ගොඩක් දක්ෂයි. ආරංචි වෙච්ච හැටියට අලුත් පරම්පරා වලට නම් ඒවගේ අගයක් නෑලු. ඒ වගේමයි මේවා පාවිච්චිකරලා ප්ලේට්ස් වගේ හදලා තියනවා. ජේජු වල ගොඩක් පාරවල් දෙපැත්තේ අර කැට අල්ලනවා වෙනුවට කරන්නේ මේ ලාවා රොක් ප්ලේට්ස් අල්ලන එක.
ඉහල සිට බලනවිට හල්ලා කන්දේ ඡායාරුපයක් |
කිම් පප් |
බහින තැනට හෝල්ට් එකක් තියල බස් එකේ දොර ගාවට එන්න අපි නැගිට්ටා. එකපාරටම ඩ්‍රයිවර් කෑගහන්න පටන් ගත්තා. ඉක්මනට ඉඳගන්න කියලා. කියන කොටම රෝයි වැටුණා. තායිත් එක්ක මං ඉක්මනට ඉඳගත්තා. රෝයිත් නැගිටලා ලඟම සීට් එකෙන් ආපහු වාඩි වුණා. ඒ තරමට බස් එක වේගෙන් වංගු ගන්නවා. කොහොම හරි ගමනාන්තයට ආවට පස්සේ බැහැ ගත්තා. වෙලාව උදේ 10 ටත් ලඟයි. උදේ පාන්දරින් ආපු අයගේ වාහන ගොඩක් තිබුණා කාර් පාර්ක් එකේ. ටිකක් පරක්කු වෙලා තිබුන හින්ද අපිත් ඉක්මනට වැඩේ පටන් ගත්තා. සාමාන්‍යයෙන් ජෙජු දුපතේ බොහොමයක් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන වලදී ඒවාට ඇතුළුවෙන්න ටිකට් පතක් මිලදී ඕනේ. නමුත් හල්ලා කන්ද නගින්න එහම නෑ. තවත් විශේෂ දෙයක් තියනවා. අනික් තැන්වලදී ටිකට් ගනිද්දී අපිට පුලුවන්නම් ජෙජු දුපතේ ජීවත්වෙන කෙනෙක් කියල ඔප්පු කරන්න බාගෙට බාගයක් ඩිස්කවුන්ට් හම්බෙනවා. නැත්නම් සම්පුර්ණයෙන් නොමිලේ යන්න දෙනවා. කොරියානුවන් සහ විදේශිකයින් කියල නැහැ, ඒක හැමෝටම පොදුයි. ඒක හින්දා අපි යන හැම තැනම මෙහෙන් දීල තියන අයිඩෙන්ටිටි කාර්ඩ් එක අරන් යන්නේ.මේ වෙලාවේ මට මතක් වුණා ජෙජු කැම්පස් එකේ ඉන්න ලංකාවේ යාලුවෙක් කිවුව දෙයක්. පින්නවල අලි අනාථාගාරේ ටිකට් ගන්න තැන විදේශිකයෝ ගෙවන්න ඕන මුදල ගහල තියෙන්නේ ඉලක්කම් වලින්ලු. එත් අපේ මිනිසුන්ට යන්න ගෙවන්න ඕනේ ගාන සඳහන් කරලා තියෙන්නේ (රුපියල් පනහයි කියලා) සිංහල අකුරින්ලු. කොහොමද ටිකිරි මොලේ.
අපි නගින්න තෝරාගෙන තිබුණේ සොන්පානක් (Seongpanak, 성판악) කියන මාර්ගය. කන්ද පාමුල ඉඳන්ම ගමන් මාර්ගය පැහැදිලිව හදල තියනවා උඩට යනකන්ම.ට්‍රැක් එකෙන් පිට පනින්න අවසර නෑ කාටවත්ම. මේ හින්ද අවට පරිසරයට හානියක් නෑ. පඩි ගල් වලින් හදල තියෙන්නේ. බැවුම් සහිත තැන්වලදී ලී වලින් ශක්තිමත්ව පාර හදලා. අත් වැටවල් ඔක්කොම ලීයෙන් හදල තියෙන්නේ. කෝඩුකාරයින්ට පහසුම මාර්ගය මේකලු. පහල ඉඳන් කඳු මුඳුනට සම්පුර්ණ දුර කිලෝමීටර 9.6 ක්. නගින්න ගතවෙන දළ කාලය පැය 4 යි විනාඩි 30ක්. ඒ කියන්නේ නැගල බහින්න පැය 9ක් වගේ ගතවෙනවා.තැනිතලා ප්‍රදේශ වලදී ලී වලින් හදපු පාරෙන් යද්දී හරිම පහසුයි. අවට කැලෑවේ ගස්කොලන් අතරින් පෙරිලා එන ඉර එලියයි , සරත් කාලයේ හමන සිහිල් සුළඟයි ගතේ විඩාව මෙන්ම සිතේ විඩාවත් නිවලා දානවා.
ගමන් මාර්ගය |
කන්ද නැගීමට ඇති විවිධ ගමන් මාර්ග |
ඇසේලියා මල් පිපෙන කාලෙට |
ආපහු බහින කොට තමයි තේරුනේ නගිනවට වඩා බහින එක අමාරුයි කියලා. ඒ අස්සේ හයියෙන් වහින්නත් පටන් ගත්තා. අපි තුන්දෙනාටම තිබ්බේ එක කුඩයයි. මම රෝයි එක්ක වේගෙන් බැස්සා. තායිගේ කකුල් දෙක හොදටම අමාරුයි. එයා ආවෙත් හෙමින්. අපි කුඩේ එයාට දීලා වේගෙන් පල්ලම් බැස්සා. වැස්ස පොඩ්ඩක් පායපු ගමන් ටිකක් නැවතිලා ඉන්නවා තායි එනකන්. ඔහොම නැවතී නැවතී කන්ද බැහැලා අවසානේ පහලට එද්දී රෑ හතහමාරට විතර ඇති. බඩගින්නයි සීතලයි ...ඔක්කොටම වඩා කකුල් දෙක රිදෙනවා. දැන් ඉතින් ආපහු ඩෝමෙට්‍රි එකට යන්නත් ඕනේ. ඉක්මනට බස් එකක් අරන් අපි ආපහු එන්න පිටත් වුණා. හොදම හරිය ඊලග දවස් දෙක. ඇවිදගන්න බෑ තුන්දෙනාටම. කකුල් වල පේශි ඇදිලා....තදවෙලා....සෑහෙන ගේමක් දෙන්න වුණා ආපහු යතා තත්වෙට එන්න. තවත් දවස් දෙකක් නිවාඩු තිබ්බ හින්දා අවුලක් වුනේ නැහැ.
අවසානෙදි අපි එක නිගමනයකට ආවා. ඒ තමයි නිතර ව්‍යායාම කරන්න ඕනේ කියලා. අපි හොඳටම දැක්කා අපිත් එක්ක කන්ද නගින්න පටන් ගත්ත වයසක කොරියන් ආච්චිලා සීයලා අපි කන්දේ බාගක් නැගල ඉද්දි ආපහු බහිනවා. ඒගොල්ලෝ කොච්චර ශක්තිමත් හා නීරෝගීද කියලා හිතුණා.
අනිත්දේ තමයි මේ පෝස්ට් එක දාන්න දවස් 3කට කලින් මං ආයෙත් හල්ලා කන්ද නැග්ගා. ඒ ජේජු ජාතික විශ්වවිද්‍යාලයේ ඉන්න ශ්‍රී ලංකික මිතුරන් සමඟින්. මේ පාර නැග්ගේ ග්වානම්සා පාරෙන්. කලින් පාරට වඩා ගොඩක් අමාරු පාරක්. ඒත් කන්ද උඩටම නැගගන්න පුළුවන් වුණා. කියන්න ඕනේ නෑ ඉතින්. මේ ටික ලියන වෙලාවෙත් කකුල් දෙක රිදෙනවා.
සමහර කොරියානුවන් හල්ලා කන්ද අවුරුදු පතා නගිනවා. එකපාරක් මට හම්බුනා තාත්තයි පුතයි ... ඒගොල්ලෝ කියන්නේ පිය පුතු සම්බන්ධතාවය වැඩිකරගන්න මේ වගේ සංචාර යොදාගන්නවා කියලා. මේවෙනකොට හැමෝම දන්නවනේ උතුරු කොරියාවයි දකුණු කොරියාවයි සෑහෙන දුරකට සාමදාන වෙලා කියලා. ඉතින් මේ ලඟදි දවසක දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් තමන්ගේ උතුරුකොරියානු සගයා කිම් ජොන් උන්ට ආරාධනා කරා හල්ලා කන්ද නගින්න එන්න කියලා. මං හිතන්නේ තාම පිළිතුරක් ලැබිල නෑ. කෙසේවෙතත් හල්ලා නගිනවානම් කිම් ජොන් උන්ට ත් හොඳට ව්‍යායාම කරලා එන්න වෙයි.
මං හිතන් ඉන්නේ ආයෙත් නගිනවානම් වින්ටර් එකේ නගින්න. බලමුකෝ.දැනටමත් කොරියන් යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් වෙලා ඉන්නේ....
ශීත කාලේ හල්ලා |
http://amarinsachithra.blogspot.com/2017/03/blog-post.html
http://amarinsachithra.blogspot.com/2017/02/blog-post.html
අපුරු ගමන් විස්තරයක් ස්තූතියි
ReplyDeleteඔන්න අයියා කිවුව හින්දම ඉක්මනට පෝස්ට් එකක් දැම්මා....බොහොම ස්තුතියි කොමෙන්ටුවට
Deleteනියමයි සහෝ.. නියම රචනාවක්..දවස් පහක් ගතවෙලත් තාම කකුල් දෙක රිදෙනව...
ReplyDeleteහාහ් හා.....අයියටත් බ්ලොග් එකක් තියනවනේ......පොඩ්ඩක් සුද්ද බුද්ද කරලා ගන්නකෝ.....
DeleteThank you for the post. It's very interesting read
ReplyDeleteThank you for reading and comment....
Deleteniyamaii gamana. math me kanda negala thiyenwa winter ekakadi.
ReplyDelete