Thursday, March 16, 2017

දකුණු කොරියාවේ සංචාරය කරන ගමන්.......ජේජු ලව් ලෑන්ඩ්




ලිපියේ අන්තර්ගත කරුණු සහ ඡායාරූප දහස් ගණන් කොරියානු මෙන්ම විදේශීය ජනතාව නරඹන, රසවිදින ඒවා වන අතර.......ලාංකිකයෙක් වශයෙන් කියවන විට ඔබට අපහසුවක් ඇතිවේනම් කියවීමෙන් සහ නැරඹීමෙන් වලකින්න.


        අගෝස්තුවේ ගිණිගහන රස්නෙන් පස්සේ කොරියාවට වැහිකාලේ එනවා. ඒ කියන්නේ සැප්තැම්බර් ඔක්තෝම්බර් වගේ. ජූලි, අගෝස්තු මාස වල තිබ්බ ජලවාෂ්ප වලින් බරවෙච්ච වාතය ටික ටික සැහැල්ලු වෙන්න ගන්නවා. ඒක මගේ පළවෙනි සමර් එක හින්ද ටිකක් අමාරු වුණා. ඇතුළක ඉද්දි නම් අවුලක් නෑ. ඒත් එක පාරට එලියට ආවහම හුස්ම ගන්නත් අමාරුයි. ඒ තරම් වායුගෝලයේ ජලවාෂ්ප වැඩියි. වින්ටර් එකේ නම් ඕකේ අනිත් පැත්ත. ටික වෙලාවක් එළියේ හිටියොත් නාස්පුඩු වේලෙනවා. තොල් පැලෙනවා වේලිලාම. ජේජු දුපතක් හින්ද සමර් එකේ රට මැද වගේ ගොඩක් උෂ්ණත්වය වැඩි වෙන්නේ නෑ . උපරිම සෙන්ටිග්‍රේඩ් 32ක් විතර. රට මැද නම් 38 විතර උඩට යනවා. ඒ කාලෙට සෝල් වල මිනිස්සු හන් ගඟේ අතු ගංගාවකට කකුල් ඔබාගෙන ඉන්නවා මං දැකලා තියනවා.

        කොහොම හරි ග්‍රීෂ්ම කාලේ අවසාන වෙලා වැහිකාලේ අවා. සරත් සමය කියන්නෙත් මේකම තමා. සමර් එකේ පොඩ්ඩක් එහෙට මෙහෙට ගියත් වැඩ වැඩි වුණා. අනික හොඳ නිවාඩුවක් සෙට් වුනෙත් නෑ. ඔය අතරේ තමා දැනගත්තේ සැප්තැම්බර් මාසේ දවස් පහක විතර නිවාඩුවක් තියනවා කියලා. ඒකට කියන්නේ තෑන්ක්ස් ගිවින් ඩේ (thanks giving day) කියලා. කොරියන් වලින් නම් "චුසොක්". එදාට මේගොල්ලෝ තමන්ගේ වැඩිහිටියන්ව , ගුරුවරුන්ව කෘතවේදීව සිහිකරනවා. ඒගොල්ලොන්ට තෑගි දෙනවා. මැරිච්ච අයවත් සිහිකරනවා. ඒ සතියේ සුපර් මාර්කට් එකට ගියාම මට ලංකාවේ අවුරුදු කාලෙ කඩවල් මතක් වුණා. බඩු වලින් රාක්ක පුරවලා. තෑගි විදිහට ගෙවල්වලට ගෙනියන්න එක එක දේවල් ගන්න තියනවා. වෙන දවස්වලට ඒවා නෑ.

        මගේ කොරියන් යාළුවෝ  නිවාඩුවට කලින් මාළු මාර්කට් එකට ගිහින් අර සුදුපාට හුණු වගේ ඇඟේ තියන දිග මාළු වර්ගය මිලදී ගත්තා. අපි නම් උන්ට කියන්නේ බෙල්ට් ෆිෂ්. නැත්තම් සිල්වර් ස්කැබර්ඩ් කියලා. ඊට පස්සේ උන්ව අයිස් දාපු ඍජිෆෝර්ම් පෙට්ටිවල පැක් කරලා ගෙවල් වලට යවනවා. ඒක සම්ප්‍රදායක්ලු. මං ඇහුව ඉතින් මාළු නරක් වෙන්නේ නැද්ද කියලා. ඒගොල්ලෝ කියනවා, ඒ සතියේ කොහොමත් ලියුම් වලට වඩා මිනිස්සු පෝස්ට් කරන්නේ මාළුලු. ඒ හින්ද විශේෂ වැඩපිළිවෙලක් දාලලු තියෙන්නේ හැකි ඉක්මනින් පෝස්ට් කරන්න. කොහොමත් ලංකාවේ තැපෑල වගේ මෙහෙ පරක්කු වෙන්නේ නැතුව ඇති කියලා මං  හිතාගත්තා. 
 
        අර කිව්ව මාළු වර්ගය අල්ලන්නේ රෑට. හවස හතට විතර පටන් අරන් පාන්දර වෙනකන් අල්ලනවලු. ලයිට් කෝස්  ක්‍රමෙන් තමා අල්ලන්නේ. ලංකාවෙනම් ඔය ක්‍රමේ  තහනම්. මොකද ලයිට් එලියට එකතුවෙන ලොකු පොඩි හැම මාළුවම ඇල්ලෙන හින්දා. ඒත් දැල්ලෝ අල්ලන්න තාමත් කට්ටිය හොරෙන් ඕක කරනවා. මෙහෙ නම් හැම රෑකම  බෝට්ටු සිය ගානක් මුහුදේ ලියිට් ගගහා මාළු අල්ලනවා පේනවා. රට මැද ඉඳන් ආපහු ජේජු එන ගුවන් ගමනකදී මේ වැඩේ උඩ ඉඳන් හොඳට බලාගන්න පුළුවන්. අපේ හොස්ටල් එකේ බැල්කනියට ගියත් හොඳට පේනවා. මට මේ මාළු අල්ලන විස්තර කිව්වේ මෙහෙ ධීවර අංශයේ රැකියාව කරන ලංකාවේ කීපදෙනෙක්. හැබැයි වැඩේ නම් අමාරුයිලු. ගොඩක් කට්ටිය කරන්නේ ටික කාලයක් බෝට්ටුවක ඉඳලා ගොවිපොළවල් වල රස්සාවකට මාරුවෙන එකලු. නැත්තම් මාළු ෆාර්ම් වලට.
 
         දවස් පහක  නිවාඩුවක් එනවා කියන්නේ හොස්ටල් එකේ මං  විතරක් තනිවෙනවා කියන එකයි. හැබැයි මේ පාර නම් පොඩි වෙනසක්. ජුනි මාසේ මුල මෙහෙට අවා වියට්නාම් පොඩි කොල්ලෝ දෙන්නෙක්. තායි සහ රෝයි. ඒ දෙන්නා  ඒගොල්ලොන්ගේ ප්‍රථම උපාධියේ අවසන් මාස කිහිපය ගතකරමිනුයි හිටියේ. මෙහෙට ආවේ මාස හයකට. රිසර්ච් එක කරන්න. අවසන් පර්යේෂණ නිබන්ධනය ලියනවා කියන්නෙත් ඕකම තමා. දෙන්නම එකම වයසේ. අවුරුදු 20යි. නොයෙක් අවස්ථාවල අපි එකට එහෙ මෙහේ ගියත් ලොකුවට ගමනක් යන්න බැරි වුණා. විශේෂයෙන්ම අපි දෙගොල්ලොන්ගේ කාල සටහන් වෙනස් නිසා. ඒ දෙන්නගේ ගත්තහමත් ටිකක් වෙනස්. මොකද ඒ දෙන්නා වැඩ කරෙත් ලැබ් දෙකක. මං  තවත් එකක.

         අවුරුදු 20 ක් වුනත් ඒ දෙන්න අත්දැකීම් සහ හිතන පතන විදිහ අතින් අපේ රටේ සම වයස් අයත් එක්ක සසඳද්දී ගොඩක් වෙනස්. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙහෙට එන්නත් ඒගොල්ලෝ ලෑස්තිකරන් තියෙන්නේ කාගෙවත් උදවු නැතිව. ඒගොල්ලෝම හොයාගෙන ඇප්ලයි කරලා. තායි කිව්වා එයාගේ තව යාලුවෙක් නාසා එකට ගියා කියලා. ඉතින් බලන්න. ඒ ළමයි කොච්චර උනන්දුද කියල අවස්ථා හොයාගෙන ඉගෙන ගන්න. අවුරුදු විස්සක් වගේ පොඩි වයසකදී වුනත්. අනිත් වැදගත්ම දේ අවුරුදු 21 න් ඒගොල්ලෝ උපාධියත් සම්පුර්ණ කරනවා.

          ගති ගුණ ගත්තම දෙන්න දෙවිදිහක්. රෝයි ගේ තිබුනේ සම්ප්‍රදායික අදහස්. අනික එයාගේ අදහසක් වෙනස් කරන්න කැමති නැති ගතියකුත් තිබ්බා. තායි එහෙම නෑ. එයාට ඕන දෙයක් ඔට්ටුයි. රෝයිට හොඳට උයන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ පවුලට ගොඩක් සල්ලි නෑ කිව්වා. නංගිලා දෙන්නෙකුත් ඉන්නවලු. අම්මයි තාත්තායි ගෙදර එද්දී උයලා, නංගිලාට කන්නත් දීලා ඉවරයිලු. ගෙදරට බඩු ගන්න යන්නෙත් රෝයි ලු.

          එහෙම කියද්දී තව දෙයක් මතක් වුණා. එක දවසක් දවල් කෑමෙන් පස්සේ අපි මේ ළඟ පාරක ඇවිදින්න ගියා. කෑමෙන්  පස්සේ ඒ වගේ යන එක මෙහෙ සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් එළියේ කාලගුණේ හොඳ නම්. එහෙම යන අතරේ තණකොළ පෙත්තෙක් දැකලා රෝයි අහනවා, මුන්ව කාලා තියනවද කියලා. කට්ටිය උඩගියා. කොහමද කන්නේ කියල ඇහුවහම කිව්වේ, ෆ්‍රයි කරලා මාර රසයි කියලා. විෂ නැත්තම් අපේ වටේ තියන ඕනෑම දෙයක් කන්න පුළුවන්  කියලලු වියට්නාම් වැසියෝ කියන්නේ. දැන් නම් එහෙ ආහාර රටාව ටිකක් වෙනස් වෙලාලු. සමහර දවස් වලට රෝයි මාර්කට් ගියාම ගෙම්බොත් ගේනවලු උයන්න.
         
              මෙහෙ ඉන්න කාලේ කීප වතාවක්ම රෝයි අපිට උයලා කන්න දුන්නා. එක එක කෑම වර්ග. විශේෂයෙන් "ප්හෝ" (Pho) කියන නුඩ්ල්ස් රෙසිපි එක. හරක් මස් තම්බපු වතුරෙන් තමා ඒක හදන්නේ. අනික් කෑම වල නම් මතකත් නෑ. මාත් කීප ගමනක් ලංකාවේ විදිහට චිකන්, පරිප්පු එහෙම හදලා දුන්නා. එයාලා කියනවා අපේ කෑම වල රස සංකීර්ණයිලු. ඒ දෙන්නට උයද්දී මිරිස් අඩුවෙන් දාලා උයන්නෙත්. පපඩම් කද්දී කිව්වා , ඒගොල්ලොන්ගේත් ඒවගේ මොකද්ද කෑමක් තියනවා කියලා. අපි ගෙදරදී කරනවා වගේම... මං පපඩම් බදිද්දී ඒ දෙන්නා කනවා හිටු කියලා. ලංකාවෙන් එද්දී මං පපඩම් පැකට් 10ක් විතර ගෙනාවා. දැන් නම් ඔක්කොම ඉවරයි.

             තායි ට ටිකක් සල්ලි තියනවා. රෝයි ට වඩා තායි ගොඩක් දක්ෂ බව මට  තේරුණා. පුදුම මතක ශක්තියක් තියෙන්නේ. එයා  ඉස්කෝලේ වගේම කැම්පස් එකෙත් ප්‍රසිද්ධ චරිතයක්. ගොඩක් සංගම් වල ප්‍රසිඩන්ට් ලු. අපි කොහේ හරි යනවනම්, කලින් ගූගල් මැප් එක සර්ච් කරනවා. එතකොට රූට් එකේ තියන වැදගත් ස්ථාන වල අර දිව පැටලෙන නම් ටික  එක පාර තායිට මතක හිටිනවා. ඒක අපිට ගොඩක් ලේසි වුණා එකට ට්‍රැවල් කරද්දී.
         
              මං ඒ දවස්වල ඉඳන් ඒ දෙන්නට කියා කියා හිටියේ මෙහේ මතකයන් ලියලා තියන්න ඕනේ කියලා. මේ ආර්ටිකල් එක ලියන්න ගන්න කලින් මං  ඒ දෙන්නටම කිව්වා. මේ පාර මං  ලියන්න ඉන්නේ අපි චුසොක් නිවාඩුව ගතකරපු හැටි කියලා. තායි නම් මුහුණු පොතේ ඉන්නවා. රෝයි නෑ. එත් එයා මෙහෙදී පාවිච්චිකරපු "කකාඕ ටෝක්" (Kakao Talk ) කියලා මොබයිල් ඇප්ලිකෂන් එක තාම තියන් ඉන්නේ. ඉතින් එයාටත් මැසේජ් එකක් දැම්මා. ඒ ගැනත් කියන්නම්කෝ. ඒක ජපන්නු හදපු ඔය වයිබර් වගේ ඇප් එකක්. මෙහෙ 100% ක්ම පාවිච්චි කරනවා. එත් ජපානේ නම් ප්‍රසිද්ධ නෑලු. කොරියාවට එන ඕන කෙනෙක් ඔය ඇප් එක අනිවාර්යයෙන් ෆෝන් එකට දාගන්නවා. ලියන්නේ සිංහලෙන් කියලා දැනගත්තත් අරදෙන්නා මගෙන් ලින්ක් එක ඉල්ලගත්තා. ගූගල් ට්‍රාන්ස්ලේෂන් වලින් බලන්නම් කියලා. දෙන්නටම කුතුහලේ මං ලියලා තියෙන්නේ මොනවද කියලා.

             කොහොම හරි ඒ නිවාඩුවට කොහේ හරි යන්න ඕනේ කියල අපි කලින්ම කතා වෙලා තිබුණා. එත් ඒ කොහෙද කියල හරියටම තීරණය කරලා තිබුනේ නෑ. අන්තිමේදී රෝයි ප්ලෑන් එකක් හදලා තිබ්බා. කොටින්ම කිවුවොත් ඒ දෙන්නා හිටියේ අමුතුම පිස්සුවකින්. වයසත් අඩු හින්දා වෙන්න ඇති. සති අන්තේ වුනත් කාමරේ ලයිට්  දාල තියෙන්නේ බොහොම කලාතුරකින්. දැම්මත් රෑට රෑ වෙලා තමා. ඒ කියන්නේ හැමවෙලේම ඇවිදිනවා. ඇවිල්ලා ඉස්සෙල්ලම හම්බෙච්ච සල්ලි වලින් පුෂ් බයිසිකල් දෙකක් ගත්තනේ. මෙහෙ කට්ටිය හිනාවෙනවා. සමර් එකේ සති අන්තවල නම් බීච් ගානෙ ගියා. සමහර තැන් වලට මාත් ගියා. ඒ කතා පස්සේ කියන්නම්කො. දුරින් වැඩිනම් සහ මාත් යනවනම් ඉතින් බස් එකෙන් තමා යන්නේ. අවුවේ බයිසිකල් පැදලම අර දෙන්නගේ අත් දෙකයි මුණයි වෙනපාටක්. ඇඟ වෙන පාටක්.

            කොහොම හරි මේ පාර නිවාඩුවට කොරියාවේ උසම කන්ද නගින්න තමා ලෑස්තිවුනේ. හොඳවෙලාවට  ඒක තියෙන්නේ ජේජු දුපතේ. නැත්තම් ඉතින් කලිනුත් කිව්වා වගේ ෆ්ලයිට් බුක් කරලා දූපතෙන් එලියට යන්න ඕනේ. ඒක ඉතින් ටිකක්  වියදම් වෙන වැඩක්නේ. කොහොම හරි රෝයි ගේ මේ පාර ප්ලෑන් එකට කන්ද නඟින එක විතරක් නෙවේ. ඊට කලින් දවසේ ඇවිදින්න තවත් තැන් කීපයක්ම දාගෙන තිබ්බා.
            කතා කරගත්ත විදිහට නිවාඩු සෙට් එකේ පලවෙනි දවසේ ජේජු සිටි එක අවට තියන තැන් කීපයක් බලන්න දාගෙන තිබ්බේ. මුලින්ම ගියේ ජේජු ලව් ලෑන්ඩ් එකට. පිහිටලා තියෙන්නේ ජේජු සිටි එකේ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර වයඹ දිශාවෙන්. සිටි එකේ ඉඳන් එනවානම් බස් එකේ විනාඩි 20 න් වගේ මෙතන. ටැක්සියක ආවත් මහා ගාණක් යන්නේ නෑ. උපරිම රුපියල් වලින් 800ක් යයි. මේක කොරියාවේ විතරක් නෙවේ මේ අවට රටවල් වලත් ප්‍රසිද්ධයි. එකපාරක් මගේ පකිස්තාන් යාළුවෙක් ඇහුවා ගිහින් තියනවද කියලා. එතකොට මං  ගිහින් තිබුනේ නෑ. එයා හිනාවෙලා කිව්වා ගිහින් බලන්නකෝ කියලා. ඔය හින්දම මාත් මේකට යන්න හිතන් හිටියේ.



ඉස්සරහට පේන හැටි
           ඇතුල්වීම අවුරුදු 18 න් ඉහල අයට විතරයි. කවුන්ටරේ අයට තේරුණොත් 18 ට අඩුයි කියලා, හැඳුනුම්පත චෙක් කරනවා. ඔන්න ඊළඟ වැඩේ. මගේ වියට්නාම් යාලුවෝ දෙන්නා අවුරුදු 20 වුණාට ඊට වඩා පොඩි පාටයි. අපි කලින්ම කතාවෙලා තිබ්බේ අපිව තාත්තයි පුතාලයි වගේ පෙනෙයි කියලා. හිතුව වගේම අර දෙන්නගෙන් හැදුනුම්පත් ඉල්ලුවා. ඒවත් පෙන්නලා ටිකටුත් අරන් ඇතුල් වුණා. ටිකට් එකක් රුපියල් වලින් නම් 900 ක් වගේ. ඔන්න ඇතුළට ගියා. හපොයි..! බලපු බලපු තැන්වල තියෙන්නේ නිරුවත් කාන්තා පිරිමි මූර්ති. ඒ මදිවට ශිෂ්ණ සහ යෝනි ත් අඹලා. පාරවල් පෙන්නන බෝර්ඩ් හදල තියෙන්නෙත් ශිෂ්ණ සහ වෘෂණ කෝෂ විදිහට. ඒ අස්සේ මට මෙහෙමත් හිතුණා . මේකට ලව් ලෑන්ඩ් කියලා කිවුවත් සිංහලෙන් නමක් දැම්මනම්  දන්නා තිබ්බා සුපිරි නමක් කියලා. 



නිර්මාණාත්මක නාම පුවරු

වතුර කරාම
            තායි රෝයි දෙන්නා ඇඹරෙනවා. මං පට පට ගාල ෆොටෝ ගහන්න පටන් ගත්තා. අර දෙන්නා ෆොටෝ එකක් වත් ගන්නේ නෑ. මං  කිව්වා මේවා හදලා තියෙන්නේ බලන්නනේ, ඉතින් හොඳට බලාගන්න කියලා. ඇතුල් වෙන තැනම වතුර කරාම ටික හදලා තියෙන්නේ එක එක වයස්වල පිරිමින්ගේ ශිෂ්ණ වගේ. ටිකක් ඉස්සරහට යද්දී රති කෙළියේ යෙදෙන මුර්තිත් තියනවා. දැන් ඔන්න අර දෙන්නා තවත් ඇඹරෙනවා. රතිකෙලියේ යෙදෙන ඒවා අඹලා  තියෙන විදිහත් විශේෂයි. එක එක ජාතීන් පිළිබිඹු වෙන්න. ඉන්දියානු රෝමානු වගේ ක්‍රම වලට. උද්‍යානය මැද මහා ශිශ්ණයක්....තවත් ටිකක් උඩහින් මහා යෝනියක්. නිකං බැලුවට පේන්නෙත් නෑ. හතරවටේ ඇවිදලා බලන්න ඕනේ. ඒතරම් විශාලයි. ඒ වගේම පොකුණු, වතුර මල් සහ ක්‍රමානුකුලව සකස්කරපු මල් වැටවල් වලින් උද්‍යානය අලංකාර විදිහට හදලා. සමහර තැන වල අපේ මුණ තියලා ෆොටෝ ගහන්නත් පුළුවන්.
උද්‍යානයේ මැප් එක
මහා ශිශ්නය
            මේක ආරම්භ කරලා තියෙන්නේ 2004 වර්ෂයේ. මූලික තේමාව වෙලා තියෙන්නේ කාමුකත්වය සහ ශෘoගාරය. මේ තේමාව යටතේ දකුණු කොරියාවේ හදපු පළමු උද්‍යානය මේක. මුළු වපසරිය අක්කර 10 කට ආසන්නයි. මෙහි මූර්ති නිර්මාණය කරලා තියෙන්නේ සෝල් අගනුවර තියන ප්‍රසිද්ධ  විශ්ව විද්‍යාලයක් වන හන්ගුක් විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ එවකට සිටි ශිෂ්‍යයෝ 20 දෙනෙක් එකතු වෙලා. ඒක ඇහුවට පස්සේ මට හිතුණා අපේ කැම්පස් ළමයි මේවගේ එකක් හැදුවොත් රට්ටු මොනවා නොකියයිද කියලා. කොහොම හරි හැදුවයි කියමුකෝ. ඊට වඩා ලොකුම ගැටලුව පොඩි කොල්ලෝ කුරුට්ටොන්ගෙන් මේක වහල කරලා තියාගන්න එකනේ. ඇයි ඉතිං පුදුම කුතුහලයක් නේ තියෙන්නේ. මේවා ගැන හරි දැනුමක් ලබාගන්න ක්‍රමයක් නැතිවෙනකොට ඉතින් එකෙත් පුදුම වෙන්න දෙයක් නෑ.


විවධ ජාතීන්

you can put a caption


           කොහොම හරි මේකේ ඔක්කොම මූර්ති 140 ක් තියනවා. ඒවාගෙන් 100 ක් එළියේ. අනිත් 40 උද්‍යානෙම පිහිටලා තියන කලාගාර ඇතුළේදී බලාගන්න පුළුවන්. තේමාවට කොච්චර ගැලපෙනවද කිවුවොත් පොකුණු වල ඉන්න ඉබ්බෝ ගෙම්බොත් අඹල තියෙන්නේත් ලිංගිකව එකතුවෙන ආකාරයට. ශෘoගාරය දොරේ ගලා යනවා. එක් කලාගාරක් ඇතුළත ලී වලින් කැටයම් කළ ශිශ්න එකතුවක් තියනවා. විවධ ප්‍රමාණයේ සහ විවධ හැඩයේ ඒවා. ඒවා බලන් යද්දී කැම්පස් කාලේ අපේ බෝඩිමේ තිබ්බ පොතක් මතක් වුණා. බෝඩිමේ හිටපු කොල්ලෙක් පොත් ප්‍රදර්ශනේකින් ගෙනාපු එකක්. ලිංගික අධ්‍යාපනේ ගැන. එකෙත් තිබ්බා ෆොටෝත් එක්කම විවිධ ප්‍රමාණයේ පිරිමි අංගජාත. බෝඩිමේ හිටපු කවුරු හරි මේක කියවනවානම් මතක් වෙයි ඒ පොතේ තිබ්බ අනිත් ඒවත්.



කලාගාරයක්



ශිෂ්න ලී කැටයම් එකතුවෙන් කොටසක්


            එකෙන් පස්සේ තවත් ගොඩනැගිල්ලක ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදාගන්නා ද්‍රව්‍ය සහ උපකරණ බලාගන්න පුළුවන්. ඕනේ නම් ඒවා මිලදී ගන්නත් පහසුකම් සලසලා තියනවා. කෘතීම ශිෂ්ණ , යෝනි, ලිංගික කාර්යයේදී භාවිතා කරන ලිහිසි ද්‍රව්‍ය, ගැහැණු පිරිමි කොන්ඩම්, පර පීඩක කාමුකත්වය තියන අය පාවිච්චි කරන ඇඳුම්. ඔන්න ඔය වගේ ඒවා. ඒවගේම උද්‍යානයේ කරපු සංචාරය මතක හිටින්න ගෙනියන්න දේවලුත් තියනවා. කී ටැග්, ස්ටිකර්ස්, වගේ ඒවා. ඒවත් ඉතින් කාමුක දේවල් විදිහට තමා හදලා තියෙන්නේ.


ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදාගන්නා ද්‍රව්‍ය සහ උපකරණ
            ඒ ගොඩනැගිල්ලේම උඩ තට්ටුවේ තියනවා තවත් සිත් ඇදගන්න කලා නිර්මාණ සෙට් එකක්. කොහොමද ඒවා විස්තර කරන්නේ. මෙහෙම කිව්වොත්. කුඩාවට එත් පරිමාණයට හදපු මිනිස් සහ අවට පරිසරය පෙන්වන මුර්ති. ඒවගෙත් පෙන්නන්නේ එක එක අවස්ථාවල ලිංගිකව එකතුවෙන දර්ශන. විශේෂත්වය තමා ඒවගේ ඉන්න මිනිස්සුන්ගේ අංග චලන..බොඩි ලැන්වේජ් එක හොඳටම දිස්වෙන විදිහට හදලා තියෙන එක. එච්චර කුඩා නිර්මාණ වුණත්. මං ගොඩක් ආසා  කරා ඒ ටිකට. අර්ටිකල් එකත් එක්ක තියන ෆොටෝ වලින් ඒවා බලද්දී වුනත්  ඕගොල්ලොන්ට තේරෙයි කොච්චර සජීවී විදිහට නිර්මාණය කරලද කියලා.






ජිම්ජිල් එකක් ඇතුළේ
             ඇවිදින අතරතුර ලංකාවේ කොල්ලෝ සෙට් එකකුත් හම්බුණා. ඒගොල්ලෝ රට මැද ජොබ් කරන අය. දිග නිවාඩුවක් හින්දා ජේජු ආවා කිවුවා ට්‍රැවල් කරන්න. මං දැකපු විදිහට මේක බලන්න පවුල් පිටින් එනවා. ඒවගේම කපල්සුත් එනවා. කට්ටිය ඉතින් හිනා වෙවී කලා නිර්මාණ රසවිඳිනවා. තව මුර්ති තියනවා එළියේ. ඒවත් එක්ක අපිට ෆොටෝ ගහන්න පුළුවන්. එක එක ඉරියව්වෙන් ඉඳලා. දෙතොල් හාදුවක් දෙන ආකාරයට ඉන්න මුර්තියක් ළඟ අපිත් නැවතුණා. තායි රෝයි නම් ඉතින් ළඟටවත් එන්නේ නෑ. මං කිවුවා මගේ ෆොටෝ එකක් ගහලා  දෙන්න කියලා. ඕක ගහද්දි එතනින් ගිය කොරියන් ඇන්ටිලා දෙන්නෙක්, හා...මරු මරු ...තව ලංවෙලා දෙන්න කියලා මගේ පොසිෂන් එකත් හැදුවා.

මේවත් එක්ක ෆොටෝ ගහන්න තියෙන්නේ
              ටික වෙලාවකින් ලංකාවේ කට්ටිය හම්බුණා ආයෙම. ඒ ගොල්ලෝ මුර්තියක් රේප් කරනවා. මොනවා උනත් අපි ටිකක් ලැජ්ජයිනේ. එක්කෙනෙක් කිවුවා..යකෝ මුන්ට මේවා හදන්න පුලුවන්නම් අපි මේවත් එක්ක ෆොටෝ එකක් ගැහුවහම මොකද වෙන්නේ කියලා. තව එක්කෙනෙක් කියනවා... අම්මෝ මේවානම් ගෙදරට යවන්න හොඳ නෑ වැරදිලාවත් කියලා.


            ටිකක් ඉස්සරහට යද්දී අයෙමත් රති කෙලියේ යෙදෙන මුර්ති. ඒවා විශේෂයි. හේතුව තමා ඒවා හදල තියෙන්නේ කාන්තා ආධිපත්‍ය පෙන්වන ආකාරයට. එතනින් ඉස්සරහට එද්දී හෙලවෙන කාර් එකක් දැක්කා. ලංවෙලා බලද්දී ඇතුළෙන් කෙඳිරිලි සද්දෙකුත් ඇහෙනවා. ඒකත් කලා නිර්මාණයක්. මෝටර් එකක් ආධාරයෙන් තමා කාර් එක හොලවන්නේ. ඇතුළේ රෙකෝඩින් එකක් දාල තියෙන්නේ. ඒකෙ ඇතුළෙත් දෙන්නෙක් සෙක්ස් කරන විදිහට. හරිම නිර්මාණාත්මකයි.


කාන්තා ආධිපත්‍ය

             අවසන් හරියේදී පොකුණක් මැද හදපු යෝනියකින් එළියට එන පුරුෂ අංගජාතයක මුර්තියක් තියනවා. පොකුණු කණ්ඩියේ ඉඳන් කෙටි ජැටියක් වගේ එකකුත් පොකුණ ඇතුල් දෙසට හදලා. ලංවෙලා බලද්දී පොකුණු අඩිය කාසි වලින් වැහිලා. මෙතැනදී කරන්නේ අර ජැටියේ කෙලවරේ ඉඳන් යෝනිය වටේ කුහරයට කාසියක් විසි කරන එක. හරියටම වැටුණොත් ගොඩ. ඒ කියන්නේ හොඳ සහකාරියක් හෝ සහකාරයෙක් හම්බෙනවා කියන එකලු. රෝයි කාසි දෙක තුනක් වීසි කරා. ඔක්කොම වැටුණේ පොකුණට. මං ගාව කාසි තිබුණේ නෑ.

කාසි පොකුණ

             ඒ ලඟම බයිසිකලයක් වගේ එකක් පදින්න තිබ්බා. හැබැයි ඒක බිමට සෙට් කරලම හදලා තිබ්බේ. අර එක්සර්සයිස් කරන මැෂින් වගේ. මේකේ විශේෂත්වය ඉස්සරහ රෝදේ විශාලයි. අනික රෝදේ පටි පටි ත් හයි කරලා. දැක්ක ගමන් රෝයි පදින්න කියලා නැග්ගා. පදිද්දී තමා වැඩේ තේරුණේ. ඒක ගැහැණු අයට ස්වයංවින්දනේ කරන්න හදපු මැසිමක්. පදිද්දී අර ඉස්සරහා ලොකු රෝදේ තියන පටි අදාල ස්ථානයේ ගෑවි ගෑවී යනවා. මේ වෙලාවේ වටේ කට්ටියකුත් බලන් හිටිය හින්ද රෝයි ගේ මූණත් රතු වෙලා. මොනවා කරන්නද. අපි හිතුවේ එක්සසයිස් මැසිමක් කියලනේ. පස්සේ අපි දැක්කා අපිට පිටිපස්සෙන් ආපු ඇන්ටිලා ටිකක් තරඟෙට ඒක පදිනවා.


from internet
 
            කොහොම හරි අවසන් වෙනකන් ඔක්කොම බලලා අපි එලියට ආවා. පොද වැස්සක් වගෙත් තිබ්බ හින්දා ඉක්මනට සිටි එකට එන්න පිටත් වුණා. සිටි ආවට පස්සේ බඩගිනියි. ඉතින් අපි හිතුවා තොපුකි කන්න ඕනේ කියලා. තොපුකි කියන්නේ හාල් පිටි වලින් හදන කෑමක්. ලංකාවේ පාර අයිනේ බඩඉරිඟු විකුණනවා වාගේ මෙහේ මේවා විකුණන්න තියනවා. රයිස් කේක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ.  අලුත් අවුරුද්දට අපි කිරිබත් කනවා වගේ මේගොල්ලෝ කන්නේ තොපුකි. ඒ හින්දා මෙහෙ අය විහිළුවට කියනවා එකපාරක් කෑවොත් අවුරුද්දකින් වයසට යනවා කියලා. මේවා එක එක විදිහට හදනවා. කොමන් ම විදිහ තමා චිලි සෝස් දාලා ෆිෂ් කේක් එක්ක කන එක. ටිකක් සැරයි. පැණිරසකුත් තියනවා. ෆිෂ් කේක් කියන්නේ මාළු වලින් හදපු සොසේජස් වගේ රසක් තියන කෑමක්. බඩගින්නේ හිටපු අපිට උණු උණු තොපුකි දිව්‍ය භෝජනේ වගේ. මදි හින්ද ෆ්‍රයි කරපු චිකනුත් ගත්තා. ඊළඟට අපේ ප්ලෑන් එක රැට නැවතිලා හෙට උදේම කඳු නැගීම ආරම්භ කරන එක. නවතින්නේ ඉතින් ජිම්ජිල් එකේ තමා. ජේජු සිටි එක ලඟම වගේ මුහුද අද්දර හොඳ ජිම්ජිල් එකක් තියනවා.

තොපුකි සහ ෆිෂ් කේක්

            මං නිතරම යන එක. "යොන්ඩුවාම් හේසු ලෑන්ඩ්". හේසු කියන්නේ කොරියන් භාෂාවෙන් මුහුදු වතුරට. විශේෂයෙන් රෑට ආපහු එන්න බස් නැති වුණොත් මේකේ තමා ඉන්නේ. පිහිටලා තියෙන්නේ ජේජු එයාර්පෝර්ට් එක ලඟම වගේ. සෝනා එක හදලා තියෙන්නේ මුහුද පේන්න විශාල වීදුරු කවුළුවක් යොදලා. හොට් පූල් එකේ ඉන්න ගමන් මුහුදත් පේනවා. මේකේ උණුසුම් සහ සීතල මුහුදු වතුර පූල් ලුත් තියනවා. එහෙම ඉන්න ගමන් ඒ ලඟින්ම පහත්කරණ තඩි ගුවන්යානා ත් බලාගන්න පුළුවන්. පළවෙනි දවසේ නම් මට මැජික් වගේ.
ජිම්ජිල් එක

             ජිම්ජිල් එකට ඇවිල්ලා හොදට නාල කරලා රිලැක්ස් වුණා. යාළුවෝ වුණත් මෙහෙම එකට නිරුවතින් නාන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. හැබැයි මට මතකයි ඉස්සෙල්ලාම දවසේ මං  මේ දෙන්නව ස්විමින් වලට පූල් එක්කන් ගියාම ඇම්බරිච්ච ඇඹරිල්ල. පූල් බහින්න කලින් වොෂ් දාන්න ඕනේ. ඊට පස්සේ ඩ්‍රයි සෝනා එකේ ටිකවෙලාවක් ඉඳලා ස්ට්‍රෙචින් කරලා තමා ස්විමින් ට්‍රන්ක්  එක අඳින්නේ. එතකන් නෝ ඇඳුම්. එදා නම් මේ දෙන්නා එලියට එනකන් මගෙ මුණ බැලුවෙත් නෑ හරියට.
            උදේම නැගිටින්න ඕනේ හින්ද කලින් නිදාගන්න ලෑස්ති වුණා. දිග නිවාඩුවක් හින්ද ජිම්ජිල් එකේ සෙනඟ පිරිලා. ගොඩක් අය සෙට් විදිහට ට්‍රැවල් කරන්න ආපු තරුණ අය. සමහරු වටවෙලා කාර්ඩ් ගහනවා. තවත් අය මොනවහරි කමින් කයිවාරු ගහනවා. මේ වගේ දවස් වලට කලින්ම ගිහින් ස්ලීපින් ඒරියා එකෙන් තැනක් අල්ලාගන්න ඕනේ. නැත්තම් වැඩේ අමාරුයි. එක දවසක් එහෙම වෙලා නිදාගන්න සෙට් වුණේ වයසක අන්කල් කෙනෙක් ආසන්නයේ. අම්මෝ...ඒ මනුස්සයාගේ ගෙරවිල්ලට වහලේ ගැලවෙයි කියලා හිතුණා.

කොහොම හරි දවල් තිස්සේ ඇවිද්ද  මහන්සියටත් එක්ක හොඳට නින්ද ගියා.  

මේ විදිහට කන්ද නැග්ග එකත් ලියන්න ගියොත් මේක මාගලක් වෙයි. හපොයි..! නවත්තන්න හිතෙන්නෙත් නෑ. මෙහෙම කරමු. කන්ද නැග්ග එකේ විස්තර එහෙනම් ඊළඟ පාර කියන්නම්.

 


27 comments:

  1. කලින් නිවාඩුවට ජේජු ගියාට Love land යන්න බැරි වුණා. ඔන්න ඊලඟ පාර ආවාම මාත් එක්ක යමු හරිද? බලන්නම වටින තැනක්. මේක කියවද්දී ඇත්තටම එතන ඉන්නවා වගේ.

    ReplyDelete
    Replies
    1. අප්පෝ ඔයත් එක්ක ගියොත් හිතයි...තාත්තයි දුවයි ඇවිත් කියලා.......

      Delete
  2. නියම විස්තරය මචං. බොදු බල සේනාව එයි කියන බයට ලියන්න ගිය දේ ලිව්වා කියල හිතපන් මචෝ.. 😂..

    👊🏽

    ReplyDelete
    Replies
    1. හාහ් හා.......ඔබතුමාගේ බ්ලොගය කියවලාම......... මට හිතාගන්න පුළුවන් මොකද්ද කියන්න ගියේ කියලා.......

      ස්තුතියි කියව්වට....කොමෙන්ටුවටත්.......

      Delete
  3. ජේජු කියන්නෙ පට්ටම ෆන් එකක් ගන්න පුළුවන් තැනක් හැඩයි... හිත ගියේම ජිම්ජිල් එකට.මද පවනේ ඔතෙන්ට ගියා නම් ඉබේම කවි කියවේවි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස...ඊළඟ පාර කවිකියන්න බලන් යන්න ඕනේ.......ස්තුතියි කියව්වට සහ කොමෙන්ටුවට .....

      Delete
  4. අම්මෝ ඉතින් බෝඩිමේ තිබුණු පොත නේද..
    Facultye ගොඩක් අය ඕක ගන්න දායක උනා අයියේ.
    නියමයි. Keep writing bro

    ReplyDelete
    Replies
    1. හාහ් හා.....මං එහෙම එකක් දැනන් හිටියේ නෑනේ.....එකත් දැන් අර චමිත් අයියාගේ ගිටාර් එකයි...මගේ ස්විමින් ගොගල් එකයි වගේ... thanks for reading and comment bro.....

      Delete
  5. අපූරු මූර්ති ටික නෙව... ඉන්දියාවෙ පරණ දේවාලෙකත් තියෙන්නේ (කජුරාහෝ)

    ReplyDelete
    Replies
    1. හරියට හරි......ඒ දේවාලේ තියන බිතු කැටයම් සෙට් එකකුත් මේකේ කලාගාරයක් ඇතුලේ තිබ්බ.....එකේ ෆොටෝ මං දැම්මේ නෑ .....

      ස්තුතියි කියව්වට සහ කොමෙන්ටුවට

      Delete
  6. Please post a photo of that exercise machine

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා.......ෆොටෝ එක හොයාගත්තේ ඉන්ටර්නෙට් එකෙන්......එදා ඒකේ ෆොටෝ එකක් ගන්න බැරිවුණා.....thanks for reading......

      Delete
  7. හරිම රසවත්, ඔබ වගේ හැකියාවක් තියෙන අය සංචාර කලවිට ඒක බොහෝ දෙනෙකුගේ අත්දැකීමක් බවට පත් කරන්න හැකියාවක් තියෙනවා.

    තවත් ඔබේ අත්දැකීම් කියවන්න බල්ලපොරොත්තු වෙනවා.



    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොමෙන්ටුවට.......කට්ටියගේ උනන්දුව හින්දමයි දැන් නම් ලියන්නේ.......

      Delete
  8. Replies
    1. තැනක් යු වේවා මෙන්ඩා තුමාණෙනි ........

      Delete
  9. මමත් යනවා ලගදිම 😍 ආසම නගරයක් 😍

    ReplyDelete