Tuesday, April 23, 2019

මම ඔබට ආදරෙයි නොහොත් පාස්කුව








2019 අප්‍රේල් 21 වනදා - පාස්කු ඉරිදා


බිරිඳ සහ තවත් ශ්‍රීලාංකික මිතුරියන් දෙදෙනෙක් සමඟින් මා  සිටියේ ජේජු නගරයේ ජුංඅං  පාරේ පිහිටි කතෝලික දේවස්ථානයේය. පස්වරු එකහමාරට පැවැත්වෙන දේව මෙහෙය විදේශිකයින් සඳහාම වුවක් නිසා කොරියානු නොවන මුහුණු වලින් පල්ලිය පිරී තිබුණි. වෙනදාට ගමේ පිහිටි කුඩා පල්ලියට (සෙවා ) ගොස් කොරියානුවන් සමඟ පමණක් පාස්කු සමරන මා මෙවර ජේජු  නගරයේ පැවැත්වෙන මෙම දේව මෙහෙයට පැමිණියේ වෙනත් කිසිවක් නිසා නොව අපත් සමඟ සිටි මිතුරියගේ ඉල්ලීම පරිදිය. අනෙක් මිතුරිය බෞද්ධ වුවත් ඇයද දේවස්ථානයට පැමිණියේ පාස්කු ඉරුදින දේව මෙහෙය දැකබලා ගැනීමේ අරමුණිනි.

දේව මෙහෙය ආරම්භ කිරීමට විනාඩි පහළොවක් පමණ ඉතිරිව තිබෙන්නට ඇත. හදිස්සියේ මාගේ දුරකථනය නාද වන්නට විය. ජෙජු ජාතික විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තවත් මිතුරෙකුගෙන් පැමිණි දුරකථන ඇමතුම සක්‍රිය කල මා ඔහු කී දෙයින් තැතිගැන්වුනු නිසා මොහොතක් නිශ්චලව හිඳ මගේ බිරිඳට සහ මිතුරියට ඒ පණිවිඩය පවසා වහාම ලංකාදීප ඊ නිව්ස් පරීක්ෂා කර බැලුවෙමි. ආරංචිය ඇත්තය. පල්ලි දෙකකට ගහලා. තවත් බෝම්බ පුපුරලා තිබුණි. කතෝලික මිතුරියගේ ගම ඊට ආසන්න නිසා ඇගෙන් හරියටම පවුලේ අය යන පල්ලිය අසා දැනගන්නට අපට උවමනා විය. ඇය සිටියේ අපි වාඩිවී සිටි බංකුවට මදක් පසුපසින් පිහිටි බංකුවකය. ඒ පඬුරු පෙරහැර සඳහා ඇයට සහභාගී වන්නට යැයි කළ ආරාධනාවකට අනුවය. ක්ෂණිකව අනෙක් මිතුරිය ඈ ලඟට ගොස් පවුලේ අය යන පල්ලිය සහ ගිය වේලාව අසා දැනගෙන පැමිණියාය. වාසනාවට කිසිඳු කරදයක් නොවීය.

පස්වරු එකහමාරයි. පාස්කු දිව්‍ය පුජායාගය ආරම්භ කරන බවට කරන ලද දැනුම් දීමත් සමගම ඇතුල්වීමේ ගීතිකාව ආරම්භ විය. එය ගායනා කෙරුනේ පිලිපීන භාෂාවෙනි.

පියතුමා (කොරියානු භාෂාවෙන්): සියලුදෙනාට ජේසු පිහිටයි. සුභ පාස්කු මංගල්ලයක් වේවා.

ජනතාව: ඔබටත් එසේම වේවා.

පියතුමා: මං දැන් ඔබගේ රටේ නම කියනවා. එතකොට අත උස්සන්න ඕනේ. වියට්නාම් , පිලිපීන්, ශ්‍රී ලංකා, උස්බෙකිස්තාන්, ටිමෝර්, ඉන්දියා, ඇමෙරිකා, අයර්ලන්ඩ්, පාකිස්තාන්, අන්තිමේට කොරියා.

සෙනග තම රටේ නම කියන විට අත ඔසවා ප්‍රතිචාර දැක්වීය.

පියතුමා: මං දන්නවා අපි හැමෝටම කොරියන් තේරෙන්නේ නැහැ. නමුත් අපි හැමෝටම තේරෙන එක දෙයක් තියනවා. ඒ තමා ජේසුගේ ආදරය. කොහොමද ඔගොල්ලොන්ගේ භාෂා වලින් "මම ඔබට ආදරෙයි" කියලා කියන්නනේ...

සෙනඟ තම තමන්ගේ භාෂාවලින් " මම ඔබට ආදරෙයි " යන්න හඬ නගා පැවසූහ.

ඉන්පසු වෙන වෙනම පියතුමා විසින් ඒ ඒ ජාතින් ගෙන් එය පැහැදිලිව ඇසෙනසේ උච්චාරණය කරන ලෙස ඉල්ලා සිටින ලදී. අපිත් සිංහලෙන් "මම ඔබට ආදරෙයි" ලෙස අසීරුවෙන්  හඬ නගා පැවසීමු.  ඒ ජාතීන් අතරේ අසරණ කමේ කඳුළු අසීරුවෙන් නෙත් කොනේ සඟවාගෙනයි.

ඒවෙලෙහි එහි සිටින කවුරුවත් ශ්‍රී ලාංකිකයින් ලෙස අප සිටි තත්වය දැන සිටියේ නැත. හදවතින් හඬමින්, අපේ රට වෙනුවෙන්  දෙවියන් යැදු අපි වහා නවාතැන් පොළ බලා ඇදුනෙමු.
සහභාගීවූ සෙනඟ



2 comments:

  1. අමරින්. බුද්ධාගම කියන්නෙ මගේ උප්පැන්න සහතිකයෙන් මගේ දෙමව්පියන් මට දුන්න ආගම. මම ඒ ආගම එක්ක අවුරුදු 33ක් ජීවත් උනා. ඒත් මම ඒ ආගම මට අවුරුදු 34දී අත ඇරිය. මම මගේ ආගම අත ඇරියට ඒකෙ කෝර් එක මම අදටත් පිලිපදිනව. (හොරකම, දුසරිතය සුදුව මම කරන්නෙ නැහැ) මම ගොඩක් ආස ආගමක් තමයි ක්‍රිස්තියානි ආගම. හින්දු උනත් මුස්ලිම් උනත් ජුවිෂ් උනත් ඒ හැම ආගමක්ම මට සමානයි. මොකද ඒ කිසිම ආගමක් කියල නැහැ අනුන්ට හිංසා කරන්න. අන්තිමට උබට මට කියන්න තියෙන්නෙ, මේක තමයි අපි ජීවත්වෙන සුරලොවත්, නරකාදියත්. මට මේ කථාව කිව්වෙ මම එක්ක වැඩ කල ලංකාවේ ප්‍රසිද්ද ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳ. ඒ පවුලත් ක්‍රිස්තියානි. උබ සහ පවුලටම සුබ දවසක්.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක ඇත්ත ටික්කා. පේන්නේ නැති දේකට වෙහෙසෙනවට වඩා හොදමදේ මේලෝකේ ස්වර්ගයක් කරගන්න එකයි. ඒකට ජීවත් වෙන්න ඕන විදිහ තමා හැම ආගමකින්ම කියල දෙන්නේ……

      තවදෙයක්….මං මේදවස්වල අයෙත් මාතර……...26 ආවේ. ෆුල් චෙකප් පිට. හාහ් හා…..

      Delete